ප්‍රාණ

 Short Story     LearnBits 

කෙටි කතාවකි

 
ගැමි සුවඳ , ගමේ රසය වෙනදට හිත සනසනව උනාට අද නං හිතට එන්නෙ අමුතු හිස් බවක්.

"මෙන්න මෙතන තමා ගේ මල්ලි"

ලොරියේ රියදුරු මහත්තය ලොරිය නතර කරන ගමන් පෙන්නුවෙ , දුර්වර්ණ උන පොඩි ගෙයක්. දූවිල්ල එක්ක කාලයක් පොර බදල , අවසානයේ දූවිල්ලටම යටවුනු සුදු බදාම ගාපු පුංචි ගෙයක්.

ඒ ගේ ඉස්සරහ එල්ලපු සුදු මරණ දැන්වීමක් තාම හුළඟට හෙල්ලෙනවා. කීප දෙනෙක්ම ගෙයි මිදුලෙ සුදු ඇඳන් ඇවිදිනවත් දැක්කා මං.

"ලොකු උදව්වක් අයියේ. මෙන්න මේක තියාගන්න.."

කියල මම , රියදුරු මහත්තයට වදෙන් පොරෙන් රුපියල් 200ක් අතේ තිබ්බා. කඩමණ්ඩියෙ ඉඳන් එන්න විදිහක් නැතුව ඉන්නකොට ඒ මහත්මයා තමා මාව ගෙනත් දාන්න පොරොන්දු උනේ.

ලොරියෙන් බැහැලා මම වැට ගාවට ගිහින් ටිකක් බැලුවා.

වත්තෙ හිටපු එක එක්කෙනා මං දිහා බලල , ඔවුනොවුන්ගේ මිනුමෙන් මාව විග්‍රග කරන්න හදනව කියල මම ඒ මිනිස්සුන්ගෙ මූණෙන් දැක්කා.

"මේ අර පත්තරෙන් එනවයි කියපු මහත්තයද?"

හදිසියේම මට පිටිපස්සෙන් ඇසුනු දුර්වල කටහඬට ගැස්සිලා , මට පිටිපස්ස බැලුනා. මගෙ ළඟට ඇවිල්ල හිටියෙ පැහුණු හිසකෙස් තියෙන , ගමත් එක්ක ජීවිතයම ඔට්ටු උන බවක් ජීවමාන වෙන මුහුණක් සහිත වයසක මාම කෙනෙක්.

"ආහ්... ඔව් මාමෙ... මේ ගයාන් කියල..."

"හරි හරි. ගයාන් කොලුවා කිව්වා අද මහත්තය එනව කියල. එන්න ඇතුලට"

"මාමගෙ නම..?"

"මම තමයි කළු මාමා..."

එහෙමනං මේ සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමේ උරුමකරුවා... පුවත්පත සඳහා වාර්තාවක් ලියන්න මම සොයා පැමිණි පුද්ගලයා.

පාඨක ඔබ තවමත් මේ සිදුවීම ගැන අවබෝධයක් නොමැති නම් පහුගිය සතියක පුවත් පතක පළ උනු මේ ලිපිය කියවල බලන්න...
 

මරුවට බිලිවූ රෝස කුසුම
..... ප්‍රදේශයෙන් මෙම පුවත වාර්තා වී තිබුණා. දොළොස් වියැති කුඩා ගැහැණු ළමයෙකු කිඹුලෙක්ගේ ප්‍රහාරයට ලක්ව , එම ප්‍රදේශයේ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. කිඹුල් ප්‍රහාරයක් හේතුවෙන් එම ප්‍රදේශයෙන් වාර්තා වන පළමු වන මරණයද මෙයයි. තවද.....

 
මේ මට දැන් කතා කරපු කළු මාමා තමයි ඒ අවාසනාවන්ත පොඩි කෙල්ලගෙ එකම භාරකාරයා. පත්තරෙන් මාව එව්වා ඒ ගැන කරුණු සටහන් කරගෙන වාර්තාවක් ලියන්න කියල. මොකද මීට සතියකට උඩින් ඒ ගිය නිව්ස් එකේ කිසිම තොරතුරක් අඩංගු වෙලා තිබ්බෙ නෑ. ඒ නිසයි මම කළු මාමව හොයාගෙන අද මේ ගමට ආවෙ.

අද ඒ පොඩි රෝස පැංචිගෙ හත්දවසෙ දානෙ කියන එක මට සිහියට ආවෙ , බණ ගෙදරකට සූදානම් වෙන මිනිස්සුන්ව දැකල.

කළු මාමා මාවත් එක්කන් ගේ ඇතුලෙ කාමරේකට ගියා. ඒ කාමරේ පොඩි දුවෙක්ගෙ කාමරයක් කියන්න මට මහ වෙලාවක් ගියෙ නෑ. මේසයක් උඩ විසිරුණු පොත් පත් , පුංචි ඉස්කෝලෙ ගෙනියන බෑග් එකක් , සුදු සපත්තු කුට්ටමක් කාමරේ තැන් තැන් වල තියෙනව මම නිරීක්ශණය කලා.

"මෙතනින් වාඩි වෙන්න මහත්තය. මේ තමා පොඩි කෙලීගෙ කාමරේ"

"මෙතන කතා කලාට කමක් නැද්ද මාමෙ"

"දැන් අපි මොනව කතා කලත් වැඩක් තියෙනවද මහත්තයො."

යැයි , කළු මාමා පැවසුවේ ගිනිගෙන දැවෙන දුකක් , ව්‍යාජ හිනාවකින් වසා ගනිමිනි.

"මාමට ප්‍රශ්නයක් නැත්තං මට පුංචි කරුණු කීපයක් දැනගන්න පුලුවන්ද. ගොඩක් අගය කරල සලකනවා ඒක"

"අහන්න මහත්තය."

"මට මුලින්ම මාම ගැනයි ඒ දුවගෙ පවුල් ඉතිහාසය ගැනයි පොඩ්ඩක් කියල ඉන්නවද?"

සාකච්ඡාව පටන් ගත්තෙම අනවශ්‍ය තැනකින් කියල මට තේරුනේ කළු මාමගෙ ඇහෙන් රූටා වැටුන කඳුල දැකල.

"අනේ සමාවෙන්න මාමෙ... මම එහෙම දෙයක් අදහස් කලේ නෑ මුකුත්..."

"ඒකට කමක් නෑ මහත්තය. මම ගැන නම් දැනගන්න මහ දෙයක් නෑ. මම විශ්‍රාම ගිය සාමාන්‍ය කෝච්චි පෙට්ටි ඩ්‍රැයිවර් කෙනෙක්. මගෙ පුතාල දෙන්නෙක් ඉන්නවා. පොඩි පුතා රට. ලොකු කෙනාගෙ පොඩි එකී තමා මේ මං ළඟ හිටියෙ. ලොකු පුතයි එයාගෙ නෝනයි , එයාලගෙ අනිත් දරුවයි වාහනේ හැප්පිලා මීට අවුරුදු හයකට කලින් නැති උනා. පොඩි එකී විතරයි බේරුනේ. ඉතින් කොල්ලො දෙන්නෙක් උස් මහත් කරපු මට මේ පොඩි එකීව බරක් නොවන නිසා මම පොඩි එකීව බාරගත්තා."

කළු මාමා ආයාසයෙන් හිනාවක් මුව සරසගෙන් කතා කරන්නෙ , වේල්ලකින් හිර කරපු දුක් කන්දක් හිතේ හිරකරගෙන. කළු මාමගෙ ඇස් වල ඇවිලෙන ගින්දර මම දැක්කා.

"හරි මාමා. මට කියන්න පුලුවන්ද එදා ඇත්තටම වෙච්ච දේ...!"

"හම්ම්..."

"මාමට අපහසුවක් දැනෙනව නං ඕනෙම වෙලාවක මාමට නිශ්ශබ්ද වෙන්න පුලුවන් මාමෙ. මම කිසිම බල කිරීමක් කරන්නෑ"

"මං කියන්නං මහත්තයා. එදා සඳුදා දවසක්..."

මමත් හරිබරි ගැහිලා හොඳට වාඩි උනේ මගෙ වොයිස් රෙකෝඩර් එක ඔන් කරන ගමන්.

"මම හේනෙ ඉඳන් ආපහු ගෙට එනකොටත් පොඩි එකී ඉස්කෝලෙ ගිහින් ඇවිල්ල හිටියෙ. ගවුමවත් මාරු කරන්නැතුව නට නට හිටියා අල්ලපු ගෙදර කෙල්ලෙක් එක්ක. මම සැර කලාම තමා ඇඳුම මාරු කරගත්තෙ. ඊට පස්සෙ හවස් වෙලා , හවස තුනට විතර මයෙ හිතේ , 'සීයෙ මම නාන් එන්නං' කියලා වැව දිහාට ගියා."

දැන් එළඹෙන්නෙ කතාවෙ දුශ්කර කොටසටයි. ඒ බව මට සැල උනේ කළු මාමාගෙ කටේ සද්දෙ පොඩ්ඩක් අඩු උන නිසා. ගැහෙන කටහඬකින් ඊට පස්සෙ එයා කතා කලේ.

"කෙල්ල ගිහිල්ල පැය භාගයක් යන්නත් කලින් ඔය ගයාන් කොලුවා කෙල්ලව උස්සන් කෑගහගෙන ගේ දිහාට ආව... මම බලනකොට... කෙල්ලගෙ එක කකුලක් තිබ්බෙ නෑ මහත්තයො"

කළු මාමා දරුණු ආයාසයක් දී හැඟීම් පාලනය කරගනිමින් කතාව කිව්වත් , මගෙ හැඟීම් පාලනයෙන් තොර උනා. මේ කතාව අහන මගෙ පපුවෙ , හිස්තැනක් දැනුනා මට එකපාටම.

"ගයාන් කොලුවා කෑගහන්න ගත්තා 'කිඹුලා ඇල්ලුවා මාමෙ කෙල්ලව. ඉක්මනට ගෙනියමු හොස්පිට්ල් එකට' කියල. මම ලේ දැකල තියෙනව මහත්තයො. මම ඕනෙ තරන් ලේ අතපතගාලත් තියෙනවා. ඒත් මහත්තයො මගේම පොඩි එකීගෙ ලේ වලින් වැහුන ඇඟ දැකල මාව ගල් ගැහුනා. ගයාන් කොලුවා ගෙයි රැඳෙන්නැතුව ඉක්මනට ගෙයින් එලියට දිව්වා. කෙල්ලවත් අරගෙනම. මමත් ඉක්මනට ගෙයින් එලියට ඇවිත් ගයාන් කොලුවට කතා කරල කිව්වා 'සෝමාරච්චිගෙ දිහාට යමු කියල.' "

කළු මාමා කියන , මේ සෝමාරච්චි නම් පුද්ගලයා ගමේ වෙදදුරා වැනි කෙනෙකි. නමුත් අසාධාරණ විදිහට ඉන් ලාභ උපයන ගුණමකුවෙක් බව මම පසුව දැනගතිමි.

"ගයාන් කොලුවා අකමැත්තෙන් උනත් කෙල්ලට ඉක්මනට බේත් කරන්න ඕනෙ නිසා සෝමෙගෙ දිහාට දුවන්න ගත්තා. සෝමෙගෙ දිහාට මමත් දිව්වා ගයාන් කොලුවා පස්සෙන්. ඒ උනාට සෝමේ එදා ඒ අපිට කියපු කතාව මට අදටත් ජුගුප්සාජනකම දෙයක් මහත්තයො"

"මොකක්ද මාමෙ ඒ?"

"මේ දවස් ටිකේ බේත් හේත් කරන බඩුත් නෑ බං කලුවො. කෙල්ලව බේරන්න ඕනි නං ටිකක් ගානක් වියදම් කරන්න වෙයි. නැත්තං ඔන්න ඔහේ අල්ලල දාන්න තමා වෙන්නෙ. ඔන්න ඕකෙ තමා කිව්වෙ. කිසිම ගානක් නැතුව. මගෙ කෙලීගෙ නිසල සරීරෙ දිහා බලන ගමන්."

කළු මාමාගෙ මුහුණේ කිසිම ඉරියව් වෙනසක් නොවීය. එහෙත් මගේ අතේ තිබ්බ වොයිස් රෙකෝඩරය අතට තද උනේ , මගෙ දත්මිටි එකිනෙකට තෙරපෙමිනි.

වාර්තාකරුවෙකුට තිබිය යුතු ඉවසීමේ ගුණය හේතුවෙන් නිහඬව සිටියා විනා , මෙලහකට මම මිනීමැරුමකට ඡෝදනා එල්ල වී ඇති කෙනෙක් විය යුතුය.

කළු මාමා ඊට පස්සෙ ආපහු කතාව පටන් ගත්තා.

"සෝමෙගෙන් කිසිම උපකාරයක් බලාපොරොත්තු වෙන්න බැරි නිසා ගයාන් කොලුවා ඊට පස්සෙ කඩමණ්ඩියෙ ත්‍රීවිල් එකක් කතා කරන් ගෙනාවා. ටවුමෙ ඉස්පිරිතාලෙට කඩමන්ඩියෙ ඉඳන් යන්න වෙනදට ගන්නෙ රුපියල් 800යි මහත්තයො. ඒත් ලේ වැගිරෙන කෙල්ලව දැකල ඒ ගාන 2000කට වැඩි උනා. පස්සෙ ගාණ කතාකරගෙන අපි ත්‍රීවිල් එකෙන් ටවුමෙ ඉස්පිරිතාලෙට එන්න ආව."

ගයාන් කියන්නෙ මගෙම පංතිවල ඉස්සර හිටපු කොල්ලෙක්. පෞද්ගලිකව එතරම් දැනහැඳුනුමක් නොතිබුනත් , මම වාර්තාකරුවෙක්ය යන පුවත් ඔහු දැනගෙන. ඒ නිසයි මේ ගැන වාර්තාවක් ලියන්න මාවම සම්බන්ධ කරගත්තෙ.

"ටවුමට ඇවිල්ල ඉස්පිරිතාලෙට කිට්ටු කරන්න උනේ නෑ මහත්තයො මහ සෙනගක් පාර වහගෙන උද්ඝෝෂණයක. අපි ත්‍රී වීල් එක ඒ දිහාට කිට්ටු කරනකොට අපි දිහාටත් පොලු අරන් ආව. පස්සෙ ත්‍රී වීල් එකට එතනින් එහාට යන්න බෑ කිව්ව නිසා ගයාන් කොලුවා කෙල්ලව උස්සන් ඉස්පිරිතාලෙට දිව්වා. ඒ අස්සෙ මෙන්න මේ පොට්ටනිය කෙල්ලගෙ අතේ ගුලි වෙලා තිබිලා වැටුනා."

යැයි කියමින් කළු මාමා සරමේ වාටියේ තද කරන් හිටපු පොඩි සුදු ලේ තැවරුන පොට්ටනියක් මට පෙන්නුවා.

"මොකක්ද මාමෙ ඒ. මොනාද තියෙන්නෙ ඒකෙ."

"නෙලුම් ඇට."

"ඒ කිව්වේ.."

"නෙලුම් ගස් හැදෙන්නෙ ඇට වලින්නෙ මහත්තයො. කෙල්ල හරි ආසයි නෙළුම් මල් වලට. අපේ වැවේ නෙළුම් නෑ ඒ උනාට. එදා කෙල්ල නෙළුම් ඇට ටිකක් අරන් ඇවිල්ල කොහෙන් හරි. මෙච්චරයි මගෙ එකීව මතක් වෙන්න තියෙන්නෙ මට. මේ පොට්ටනිය ආපහු මම මැරුනත් මගෙන් ඈත් වෙන්නෑ මහත්තයො"

කළු මාමා සම්පූර්ණ කතාවම නොකීවත් , පස්සෙ වැව බලන්න ගියාම මට සිදුවුනු දේ අවබෝධ උනා. ඒ පොඩි එකී නෙලුම් ඇට ටිකත් අරගෙන වැවට දාන්න අරන් ගිහින් තියෙන්නෙ. වැව් කණ්ඩියෙන් නාන්න හදපු තැන කොන්ක්‍රීට් එකක් තියෙන්නෙ. ඉතින් එතනින් නෙළුම් ඇට දාන එක උචිත නෑ කියල හිතිලා මේ කෙල්ල , වැව් ඉවුරේ වෙන තැනකින් වැවට බහින්න ගිහිල්ලා. එතනලු කිඹුලා නිතරම ඉන්නෙ.

"මම ඒ පොට්ටනියත් අහුලන් ගයාන් කොලුවගෙ පස්සෙන් දුවන් ආව. ඒ වෙනකොටත් කෙල්ලව කිඹුලා අල්ලල සෑහෙන වෙලා. කෙල්ලගෙ කරුමෙට ඉස්පිරිතාලෙ වැඩ වර්ජනයක් මහත්තයො. හදිසි ප්‍රතිකාර ඒකකයටම හිටියෙ එක දොස්තර මහත්තයෙක් විතරයි. ඒ මහත්තය තනියම කෙල්ලව ඔපරේසන් කාමරේට අරන් ගිහිල්ල විනාඩි විස්සක් යන්නත් කලින්ම කෙල්ල නැති උනා කියල කිව්වා අපිට. අධික රුධිර වහනය නිසා කියලයි හේතුව කිව්වෙ. සමහර විට සෝමෙගෙන් පොඩි උපකාරයක් උනා නං , ත්‍රීවිල් එකේ ගාන කතාකරගන්න ගිය වෙලාව නැති උනා නං , උද්ඝෝෂණයක් නොතිබ්බ නං , වැඩ වර්ජනයක් නොතිබ්බ නං මගෙ කෙලීව බේරගන්නත් තිබ්බ මහත්තයො"

කායික ශක්තියට වඩා මේ මිනිසාගෙ මානසික ශක්තිය ගැනයි මම පුදුම උනේ. තාම නොනවත්වා මට මේ කතාව කියන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.

"පස්සෙ අපි ගෙදර ආව මහත්තයො. ගයාන් කොලුවම තමයි පොඩි එකීව ආපහු ඉස්පිරිතාලෙ ඉඳන් ගෙදර ගෙනල්ල අඩි හතරෙ පෙට්ටියක දාල මේ ගෙයි කෑල්ලෙ තියල තිබ්බෙ. මගෙ පොඩි එකී සුදුපාටින් ලස්සනට ඇඳලා ඒකෙ මැද නිදාගෙන හිටියා."

කළු මාමාට කතාව නතර කරන්න උනේ මම සාක්කුවෙන් ලේන්සුව අරන් ඇස් දෙක වහගත්ත නිසා.

"මාම දැන් මොකද කරන්නෙ ඉතින් ඉස්සරහට"

"මට තව නැති වෙන්න දේවල් නෑ මහත්තයො. පොඩි එකීගෙ හත්දවසෙ දානෙ අද. දානෙන් පස්සෙ මට තව කරන්න දෙයක් නෑ. ඒකිගෙ එකම ආසාව ඉශ්ඨ කරන්න තිබ්බ නං ඇති."

ඒ කෙල්ලගෙ එකම ආසාව මොකක්ද කියල මම අහන්න ගියෙ නැත්තෙ කළු මාමගෙ තත්වෙ හොඳ නැති නිසා නෙවෙයි. මගෙ තත්වෙ හොඳ නැති නිසා.

"ගොඩක් ස්තූතියි මාමෙ කාලය වෙන් කරල මට සම්පුර්ණ කතාවම කිව්වට."

"කතා නං කෝටියක් තියෙනව මහත්තයො. ඒත් නිකංම නිකං හිස් කතා චරිතයක් නැති"

කළු මාම එක්ක ටිකක් වෙලා කතා කරල මම ආපහු කඩමණ්ඩියට එන්න ගත්තා. ඒ එන අතරතුරේ ගම්මුන්ගෙන් , මේ කිඹුල් ප්‍රශ්නය ගැන අහන්නත් අමතක කලේ නෑ මං.

ගම්මු කියපු විදිහට , වැවේ කිඹුල්ලු ඉන්නව කියල වනජීවි එකට සැල කලත් , ඒකෙන් කිසිම නියෝජිතයෙක් ඇවිල්ල නෑ තත්වය ගැන හොයල බලන්න. අන්තිමේට ගමේම මිනිස්සු එකතු වෙලා මහ කිඹුලෙක්ව අල්ලල මරල.

අන්න ඒකට පොලිසියෙන් ඇවිල්ල ගමේ කීප දෙනෙක්වම කුදලන් ගිහිල්ලා. හැබැයි කිසිම කෙනෙක් කිඹුල් ප්‍රශ්නය ගැන හොයල බලල නැ. කොහොමහරි වැවේ කොටසක් වට කරල කම්බි වැටක් ගහන්න සල්ලි පාස් උනත් , ලියකියවිලි වල වැරද්දක් නිසා ඒකත් පස්සට ගිහිල්ලා.

ඒ අතරතුරේ තමයි මේ පුංචි රෝස කැකුල වගකිවයුත්තන්ගේ බිල්ලක් බවට පත් වෙලා තියෙන්නෙ.

ගමට ආවෙ කරුණු රැස් කරන්න උනාට , මම එදා ගමෙන් පිට වුනේ හිත ඇතුලෙ පුදුම බරක් පුරවගෙනයි.

පහුවෙනිද උදෙන්ම මම පටන් ගත්තා මගෙ වාර්තාව ලියන්න. අපි ලොකු පුටුවල මිනිස්සුන්ගෙ වැරදි උලුප්ප උලුප්ප පෙන්නන්නේ , අපේම මිනිස්සුන්ගෙ වැරදි උඩින් සුදු කොල අලවගෙනද?

මිනිසෙක් , අනෙක් සතුන්ගෙන් වෙන් වෙන්නෙ කායික වෙනස්කම් වලින්ම නෙවෙයි. මිනිසුන්ට තියෙනවා මනුශ්‍යත්වය කියල , මේ සත්ව ලෝකයේ වෙනත් කිසිම ජීවියෙකුට නොපිහිටන දෙයක්. ඒත් එන්න එන්නම වියැකෙන්නෙත් ඒ මනුශ්‍යත්වයම නොවේද?

ලිපිය ටයිප් කර කර ඉන්නකොට මගෙ ෆෝන් එක රින් වෙන්න ගත්තා එක පාරටම.

නම්බර් එක සේව් කරල නොතිබුනත් මට ඒ නම්බර් එක හොඳට මතකයි. ඒ ගයාන් , මට මේ සිද්දිය ගැන දුරකථනයෙන් දැනුම් දෙන්න යොදාගත්ත නම්බරේ. වැඩිදුර හිතන්නැතුවම මම කෝල් එක ආන්ස්වර් කලා.

"හෙලෝ... සාරංග කතා කරන්නෙ..."

"ආ සාරංග. මම මේ ගයාන්."

"ඔව් කියන්න ගයාන්"

"පොඩි ප්‍රශ්නයක් ගමේ. කලබලයක්"

"ඇයි මොකක්ද උනේ?"

"ඊයෙ හත්දවසෙ දානෙන් පස්සෙ කළු මාමා ආගිය අතක් නෑ. ගේත් වහල දාල කොහෙද ගියාලු. අල්ලපු ගෙදර අක්ක කිව්වෙ."

"මොකක්? ඉතින් හොයල බැලුවෙ නැද්ද?"

"බලනව බලනව. අපි අල්ලපු ගමෙත් හොයන්න ගියා. එහෙ ගිහිල්ලත් නෑල්ලු"

"මම එන්නම් ඉක්මනටම. පොලිසියෙ පැමිණිල්ලක් දාල තියන්න කෝකටත්. පුලුවන් තරම් ඉක්මනට මම එන්නම්"

"හරි හරි එන්න අවශ්‍යතාවක්ම නෑ. ඔයා ඔය ලියන එකට මොකක් හරි බලපෑමක් ඇතියි කියල හිතල මම කිව්වෙ."

"හරි හරි ඒක ප්‍රශ්නයක් නෑ ගයාන්. ගොඩක් ස්තූතියි."

කෝල් එක කට් කරාට පස්සෙ තිබ්බ ප්‍රශ්න දෙගුණයක් උනා වගේ හැඟීමක් මට ඇති උනේ. වාර්තාව ලියන එක ආපහු පටන් ගත්තා මම. අවසානය මොනව උනත් මම දන්න දේවල් ලියල ඉවරයක් කරල තියාගන්න එක ලේසියිනෙ.
 


 
ගයාන්ට එනව කියල පොරොන්දු උනාට තිබුණු අධික කාර්යබහුලත්වය නිසා මට ආපහු කළු මාමව හොයන්න යන්න උනේ සති තුනකින්. ගම්මුන්ගෙන් දැනගත්තු විදිහට , කළු මාමා මියගියා කියල මරණ සහතිකයක් පවා ලියල. සතියක්ම හොයලත් සිරුරවත් හම්බුනේ නැති නිසා මිනිස්සු ඒ වැඩේ අතෑරල දැම්මා කියල තමා කිව්වෙ.

කළු මාම ගැන පසුතැවිල්ලෙන්ම මම වැව දිහාට ආව. වැවේ ඉන්න රාක්ශයා වැවෙන් පිට ඉන්න රාක්ශයන්ට ගොඩක් දුරට සමානයි...

හැබැයි වැවේ අමුත්තක් තිබුණා. වැවේ මැද හරියෙන් පාවෙන කොළ කීපයක් පේන්න තිබ්බා.

ඒ නෙළුම් කොළ කියල හොයාගන්න මට මහ වෙලාවක් ගියෙ නෑ. නෙළුම් හැදෙන්නෑ කියපු වැවේ කොයින්ද නෙළුම් කොළ?

එතකොටම මට මතක් උනා එදා කළු මාමා කියපු දේ... පොඩි එකීගෙ නෙළුම් ඇට පොට්ටනිය ගැන.

"මේ පොට්ටනිය ආපහු මම මැරුනත් මගෙන් ඈත් වෙන්නෑ මහත්තයො"

හිතට ආපු හීතල සිතුවිල්ල නිසා මම ඉක්මනට ගිහින් පොලිසියෙ පැමිණිල්ලක් දැම්මා කළු මාමගෙ නිරුද්ධ සිරුර හොයාගන්න පුලුවන් තැනක් සම්බන්ධව...

 

ප.ලි. :- කළු මාමත් , අර රෝස පොහොට්ටුවත් බිලි උනේ 'තිරිසන් සතෙකුටද නැත්තං තිරිසන් සමාජයකටද' යන්න තීරණය කිරීම ඔබ සතුයි...

 

Post a Comment

Previous Post Next Post

Contact Form