Phone & Brain

ෆෝන් එක අපේ මොළයට සහ එහි හැකියාවන්ට බලපාන්නෙ කොහොමද?

ෆෝන් එකක් කියන්නෙ අලුත උපන් දරුවෙක්ට පවා සෙල්ලම් කරන්න දෙන භාණ්ඩයක් වෙලා තියෙන කාලෙක , අපි අද කතා කරමු දුරකථනය නිසා අපේ සිතීමෙ හැකියාව , මතකය , බුද්ධිය ආදී මානසික තත්වයන් වලට වෙන බලපෑම් ගැන. පථයන් කීපයක් ඔස්සේ යමු අපි.

 

අපි හිතන විදිහට/අපේ සිතුම් පැතුම් වලට බලපානව.

 
මේ ගැන පැහැදිලිවම විස්තර කරපු එක වෛද්‍යවරයෙක් තමයි , ස්නායු රෝග විශේෂඥයෙක් උන ඩෑන් කවුෆර් වෛද්‍යවරයා. එයා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදි මෙහෙම කියල තියෙනව,
 
ස්මාට්ෆෝන් එකක් කියන්නෙ තනිකරම විශ්වකෝශයක්. ඒක හරියට ලොකු විශ්වකෝෂයක් අතේ අරන් යනව වගේ. අපිට ඕනෙ වෙලාවක ඕනෙ තොරතුරක් සැනින් එසැනින් ලබාගන්න පුලුවන්. හැබැයි මේකෙ තියෙන ගැටලුවක් තමයි , අපි ඒ දැනගන්න ඕනෙ කාරණාවට ප්‍රවේශ වෙන්නෙ මතුපිටින් විතරයි. උදාහරණයකට , ඔන්න මම ෆෝන් එක ගත්තා. මම හොයනව මානව රෝගී තත්වයක් ගැන. ඔන්න මට හම්බුනා. මම කියෙව්වා. ඒක අයින් කලා. තේරෙනව නේද. අපි අපේ බුද්ධියට , මතකයට වඩා , මේ උපකරණය මතයි විශ්වාසය තියල තියෙන්නෙ. අපි මේ ආකාරයේ මූලාශ්‍ර සහ තොරතුරු ආධාරක මත වැඩි වැඩියෙන් රඳා සිටින තරමට අපේ මොළයෙන් සිදු කරන වැඩ සහ සැකසීම් ආදිය අඩු වෙනව.
 
ඒ වෛද්‍යවරයා මේ කියන්නෙ , අපි අපේ බුද්ධිය හෝ මතකය මෙහෙයවන්නැතුව දුරකථන මත පදනම් වෙලා , ඒ ආශ්‍රිත තොරතුරු මූලාශ්‍ර හදාගන්න එකෙන් වෙන්නෙ , අපේ මොළයේ සාමාන්‍ය කාර්යභාරය වෙන්නැතුව යනව කියන එකයි.

මම මෙහෙම කියන්නං. ඔයා පොතක් කියවනකොට , ඔයා ඒ රූප හිතින් මවාගන්නව. මවාගන්නෙ පොඩි රූපයක් උනාට ඒකට ඔයාගෙ මොළයෙන් සෑහෙන වැඩ කොටසක් කරනවා.

නමුත් ඔයා කෙලින්ම ඒ රූපය ෆෝන් එකෙන් බලනව. අන්න එතකොට , මොළයෙන් අර සිදු කරන්න තිබ්බ සම්පූර්ණ වැඩ කොටසම සිදු වෙන්නෑ.

කෙටියෙන්ම කියනවනං , අපි අපේ ෆෝන් එකට ඇලෙන්න ඇලෙන්න , අපි ෆෝන් එක මත පදනම් වුන තොරතුරු මූලාශ්‍ර හදාගන්න තරමට අපිට , අලුත් යමක් හිතන්න තියෙන හැකියාව නැති වෙලා යනව. ඔයා අහල ඇති ශරීරයේ පාවිච්චි නොකරන අවයව ක්‍රමයෙන් ක්ශීණ වෙලා යනව කියල. අන්න ඒ මූලධර්මයෙම වක්‍ර ස්වරූපයක් තමයි මේක. මොළය හෝ බුද්ධිය හෝ මතකය මෙහෙයවන්නැතුව , අපි දුරකථන වල එල්ලිලා ඉන්නකොට , එන්න එන්නම අපේ තර්කන ශක්තිය , බුද්ධි මට්ටම , මතකය , හිතන විදිහ ආදී හැමදේම වෙනස් වෙනවා.

 

සමාජ හා චිත්තවේගීය කුසලතා වලට බලපානවා.

 
ෆෝන් අපේ අතට එන්න කලින් අපි එලියට බැහැල මිනිස්සුන්ගෙ මූණට කතා කරපු කාලයක් තිබ්බ මතකද. ඒ කාලෙ අපිට මෙහෙම ඩිප්‍රෙශන් , මානසික පීඩන තත්ව , සාංකාව වගේ දේවල් තිබ්බද? තිබ්බත් ඒව ගොඩක් කල් රැඳිල තිබුණද?

ෆෝන් එක අපේ අතට ආවට පස්සෙ අපි බාහිර ලෝකය සම්පූර්ණයෙන්ම වහල ෆෝන් එක ඇතුලෙ තිබ්බ ඩිජිටල් ලෝකයට ආව. කෙටි පණිවිඩ , විහිළු , සිංදු , ෆිල්ම් මේ හැම එකම එතන තියෙනව. ඉතින් අපි තව තවත් ඒක ඇතුළටම ගියා.

මේ වැඩෙන් අපිට උන හානිය තමයි අපේ අන්තර් පුද්ගල සම්බන්ධතා බිඳවැටුනු එක. ගෙදර අම්ම තාත්ත එක්ක පවා කතා නොකරන තැනට සමහරු පත් උනා. අන්න ඒක තමයි අවසානයේ මානසික අවපීඩන තත්වයන් දක්වා වර්ධනය උනේ.

ඒ කියන්නෙ දුරකථනය නිසා අපේ සමාජ සහ චිත්තවේගීය කුසලතා වලට ලොකු හානියක් උනා.

 

මතකය අඩපණ කිරීමට බලපානව

 
ඔයාට කාගෙ ෆෝන් නම්බර් එකක් ඉල්ලගන්න ඕනෙ උනාම ඔයා කරන්නෙ මොකක්ද? එයාගෙ නම්බරේ අරන් ඔයාගෙ ෆෝන් එකේ සේව් කරගන්නව. අඩු ගානෙ ඒ නම්බරේ මුල් ඉලක්කම් තුන 077 ද 071 ද 072 ද කියලවත් මතක නෑ.

ඔයාට පාරක් හොයාගන්න ඕනෙ උනාම , ඔයා කාගෙන් හරි අහගෙන ඒ පාර මතක තියාගන්නවද නැත්තං මැප් එකෙන් බලන් යනවද. මැප් එකෙන් බලන් යනවනෙ. අන්තිමට තැනට ඇවිල්ල. හැබැයි ආපු විදිහක් දන්නෑ.

අපි මේ යැපෙන්නෙ බාහිර ආධාරකයක් මත. ඒ තමයි අපේ ෆෝන් එක. උඩ කිව්ව සිද්දි දෙකේම අපි අපේ මතකය කියන හැකියාව යොදාගත්තෙ නෑ නේද?

ඉතින් ඒ වගේමයි අපේ ජීවිතේ , ෆෝන් එකත් එක්ක කරන ගොඩක් දේවල් වලදි අපි අපේ මතකය නොසැලකා හැරල තියෙනව. ඉතින් ක්‍රම ක්‍රමයෙන් අපේ මතක ශක්තියත් හීන වෙලා යනව.

සරලවම ෆෝන් එක ඕනෙවට වඩා පාවිච්චි කරනකොට අපේ මතකය , බුද්ධිය , සමාජ කුසලතා ආදී ගොඩක් දේවල් වලට ඒකෙන් සෘණාත්මක බලපෑමක් ඇති කරනව.

මේවගෙන් මිදෙන්න නං , විවිධ ක්‍රම තියෙනව. Social media ඇප් අයින් කරන එක. ටයිමර් දාගන්න එක ආදිය.

හැබැයි ඔයා ෆෝන් එකට ගොඩක්ම ඇලිල නං කරුණාකර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Post a Comment

Previous Post Next Post

Contact Form