තමන්ගෙ වැඩේ නොකර අනුන්ට වැඩ කරන්න කියන්න එපා

 Life Tips     LearnBits 
Photo by google

අපේ ගොඩක් අය ඔවුන්ට අදාළ දේ හරියට නොකෙරුවට , වෙන අයට උපදෙස් දෙන්න නං දන්නවා.

 
නම දැක්කම දැනෙන්න ඇති මොකක් ගැනද මේ කියන්න යන්නෙ කියල. මට මේක ලියන්න හිතුනෙ මෑතක මම දැකපු "මෝටිවේසනල්" ලිපියක් කියවල. ලෝකෙ වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවෙ තියෙන දරුණුම ප්‍රශ්නයක් මේක. මිනිස්සු තමන් විසින් කළ යුතු දේ හරියට කරන්නැතුව හෝ පැහැර හැරලා , වෙන අයට එයාල වැඩ කරන්න ඕනෙ විදිහ කියනවා.

අපි මුලින්ම ආටිකල් එකෙන් එලියට ගිහින් පොඩ්ඩක් සමාජෙට බහිමු. අපි යමු මගේ පෞද්ගලික අත්දැකීමකට.

ඔන්න දැන් මරදානෙ ස්ටේශන් එකෙන් බැහැල අහවල් ඉස්කෝලෙ දිහාට එනකොට හම්බෙනවා ධවලගිරිය. ධවලගිරිය කියන්නෙ ධවල මන්දිරේ වගේ එකක් නෙවේ. ටිකක් ලොකු කෑම කඩයක්.

මම ඉස්සර ඉස්කෝලෙ ගියේ වෑන් එකේ. මට කිසිම අවශ්‍යතාවක් නෑ ඒ දිහාට යන්න. හැබැයි මම උදේට කන්නෙ එතනින්. ඉතින් ඕලෙවල් කාලෙ සමහර දවස් වලට උදේ 6.45ට ඉස්කෝලෙ ගාවින් වෑන් එකෙන් බැහැල, මේ ධවලගිරියෙන් කාල බීල යාලුවො එක්ක යන්තන් 8.45ට විතර ඉස්කෝලෙට එනව ආපහු.

මේ ධවලගිරියෙ ඒ කාලෙ හිටියා කිරි තේ දාන අයියා කෙනෙක්. දෙමළ බුවෙක් මම දන්න විදිහට. හෙනට ටෝක දානව කිරි තේ බොන්න ආපු අය එක්ක. මෙයා දවසට සාමාන්‍යෙන් කිරි තේ 450ක් වත් දානව ලොවෙත්. ඒ කාලෙ කිරිතේකක් 250ක් විතර වෙන්නෑනෙ. ඉතින් මිනිස්සුත් රුපියල් 30ක් දීල කිරි තේ එකක් බොනවා.

ඒ අයියට මාර දැනුමක් තිබ්බෙ දේශපාලනෙ ගැන. තේ බොන්න ආපු අය එක්ක , මෙයා දේශපාලනය ගැන කතා කරනව නිකං නීතීඥයෙක් වගේ. අර ගිවිසුම වැරදී. මේක දැන්ම නොකල යුතුයි. රතන හිමිගෙ වරප්‍රසාද නිකරුනේ මුදල් අපතේ යැවීමක්. ඇමරිකානු තානාපති එක්ක මේ මේ විදිහට වැඩ කලොත් රටට හොඳයි. මේ වගේ ඒව තමා කතා කරන්නෙ.

කිරි තේ බොන්න ආපු , සමහර උගත් මිනිස්සු වගේ පේන අයට වඩා මේ අයියා දන්නවා ගොඩක් ක්ශේත්‍ර ගැන. අර මිනිස්සුත් ඔලුව වනල එකඟ වෙනවා.

ඒ වගේම මේ අයියා ක්‍රිකට් ෆෑන් කෙනෙක්. අපිට නං මළ පනින්නෙ මේ යකා සපෝට් කරන්නෙ ඉන්දියාවට නිසා. ලංකාවට සපෝට් කරන්නෙ දෙවනියට. මැච් දවසකට එහෙම , අපි එක්ක කයිය ගහන්න එනවා. පිච් රිපෝට් එකේ ඉඳන් මැච් ස්ටැටික්ස් දක්වා ඒ ඒ ක්‍රීඩකයා හැසිරෙන්න ඕනෙ විදිහ , මේ ඕවර් වල මෙහෙම බැට් කරන්න ඕනෙ , අරයා බැට් කරන්න ආවම මෙහෙම ෆීල්ඩ් සෙට් එක හදන්න ඕනෙ වගේ හැම දේම කියවනවා. ආයෙ ඉතින් රුචිර පල්ලියගුරුගේට වඩා විනිසුරු තීරණ ගැනයි ක්‍රිකට් ගැනයි දන්නවා.

මම ඒ කාලේ හිතුවා ඉගෙන ගත්තෙ නැති උනාට මේ අයියා නං සුපිරිම පොරක් කියල. මටත් මේ වගේ මම දන්න දේවල් වෙන අය එක්ක කතා කර කර සැපේ ඉන්න තිබ්බ නං කියල හිතුනා.

හැබැයි මම ඒ වෙනකං , ඒ අයියගෙ කිරි තේ එකක් බීල තිබ්බෙ නෑ. දවසක් කැඩෙට් ප්‍රැක්ටිස් දවසක මමයි අපේ ප්ලැටූන් එකේ දෙතුන් දෙනෙකුයි ගියා හවසක කිරි තේ එකක් ගහල වඩේ දෙක තුනක් කොටාබාල එන්න.

අපේ කිරි තේ එක හැදුවෙත් අර අයියමයි. වෙනද වගේම දැන උගත් තලතුනා කතාබහක් එක්කමයි තේක හදන්නෙ.

උගෙ කිරි තේ එක අරන් පළවෙනි උගුර බිව්වට පස්සෙ මට කිරිත් එපා උනා. කහට නෑ. සීනි දාල නිකං ඔට්ටපාලු ගොඩකට ඇසිඩ් ගහල වගේ. ටැප් වතුරද , ලැට් වතුරද කියල හිතාගන්න බැරි උනා.

අන්න එදා , ඌ ගැන මම මවාගෙන හිටපු ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම බිඳුනා. ඌ මේ රටේ ලෝකෙ නැති හැම මගුලම දන්නවා. හැම මගුලම කරන විදිහත් දන්නවා. හැබැයි උගෙ රස්සාව උන කිරි තේකක් හදාගන්න දන්නෑ.

කාලයත් එක්ක මට තේරුම් ගියා ලංකාවෙ බහුතරයක් ඉන්නෙ මේ වගේ මිනිස්සු කියල.

උදාහරණයකට අපි ගමු A/L සිසුවෙක්. මාත් එහෙම එකෙක්. මේ පාර ලියන්නෙ. (මම ලියන්න හිටියෙ ගිය පාර) මම දැකල තියෙනවා ගොඩාක් අය , මේ AL කරන අයට මෝටිවේශනල් ආටිකල්ස් දානව , උපදෙස් දෙනවා , වැඩ කරන්න ඕනෙ විදිහ කියල දෙනවා. ඇත්තම කිව්වොත් ගුරුවරුන්ගෙන් පවා ලැබෙන්නැති සමහර කරුණු මේ අපේ සමවයස් වල ඇතැම් අයගෙන් ලැබෙනවා. එයින් බහුතරයකුත් AL ලියන උන්මයි.

හැබැයි මම කවදාවත් ඔය එකක්වත් විශ්වාස කරන්නෑ. ඩොක්ටර් කෙනෙක් , ඉහළ නිලධාරියෙන් , උසස් තැනක ඉන්න වැඩිහිටියෙක් , පළපුරුදු ගුරුවරයෙක් මට කිව්වොත් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල , අන්න මම ඒක නං අහනවා. ඒක පිළිගන්නවා.

නිකමට හිතල බලන්න. අඩු ගානෙ තමන්වත් අදාළ බාධකය ජයගන්නැතුව , වෙන අයට ඒ දේවල් ගැන කියල දෙන කෙනෙක් කියන දෙයක් අපිට හිස් මුදුනින් පිළිගන්න පුලුවන්ද කියල.

අද ලංකාවෙ මිනිස්සු කරන්නෙත් ඒකමයි. ඔහේ කවුරුන් හෝ කියන දෙයක් පිළිගන්නවා. රැඩිකල් පොරවල් වගේ ඉන්න උනුත් මේ අහිංසක මිනිස්සුන්ට , ළමයින්ට එක එක ජාතියෙ උපදෙස් දෙනවා.

එකපාරක් ඉස්කෝලෙදි මට හම්බුනා බයෝ වලින් දිවයිනේ පස්වෙනියා උන අයියා කෙනෙක්ව. මගෙ ඉස්කෝලෙ කොළඹ ප්‍රසිද්ධ පාසලක්. නොදන්න අයට කිව්වෙ. ඒ අයිය අපේ පංතියට කිව්වා මෙහෙම වැඩ කරපං අරම වැඩ කරපං කියලා. හැබැයි අන්තිමට ඒ අයියා කිව්වා , "උඹල මම මේ කියන කිසිම දෙයක් පිළිගන්න ඕනෙ නෑ. එහෙම පිළිගන්න එපා. මොකද මමත් විභාගෙ ලියල තාම අවුරුද්දක්වත් නෑ. මම දන්නෑ මෙතන ඉන්න එක එක්කෙනාගෙ සිතුම් පැතුම්. හැකිතාක් දුරට දැන උගත් වැඩිහිටියෙක්ගෙන් උපදෙස් ගන්න" කියල.

මේ කතාව කිව්වෙ දිවයිනේ පස් වෙනියා උන අයියා. හැබැයි දිවයිනේ මුල් දාහ අතරවත් නැති එකෙක් , විභාගෙ ගැන පොර ටෝක් දෙනකොට ඒක නිකං විහිළුවක් වගේ දැනෙන්නැද්ද?

මම කියන්නෙ නෑ එහෙම කෙනෙක් කියන හැමදේම බොරු කියල. ඒ දේවල් වල ගත යුත්තක් තියෙනව වෙන්න පුලුවන්. හැබැයි ඕනෙවට වඩා පිළිගන්න යන්න එපා. විභාගෙ කරන එකෙක් වෙන අයට කියනවා මෙහෙම වැඩ කරන්න , අරම කරන්න කියල. හැබැයි ඌ ඒ මොනවත් කරන්නෑ. ඒක මට නං මාර විහිළුවක්.

මම ජීවිතේට මේ දක්වා , වැඩ කරන්න ඕනෙ විදිහ , පාඩම් කරන්න ඕනෙ විදිහ හෝ කොටින්ම අධ්‍යාපනය සම්බන්ධව මෙලෝ ලිපියක් දාල නෑ. මොකද මමවත් තාම මේ ඒලෙවල් ලියන්නැතුව වෙන උන්ට උපදෙස් දෙන්න පටන් ගත්තම , එතන කිසිම සත්‍යතාවක් නෑනෙ.

මෑතකත් මම එහෙම දෙයක් දැක්ක. මනස පිළිබඳව හොදින්ම හදාරපු කෙනෙක්ට මොකක්ද ප්‍රශ්නයක් උනා කියල තියෙනව දැක්කා ආටිකල් එකක. මම සිද්ධිය නං දන්නෑ. හැබැයි මම තේරුම් ගත්ත විදිහට නං , ඔහුගෙම ක්ශේත්‍රය තුළ ඔහු අසාර්ථක උන කතාවක් ඒකෙ තිබ්බෙ. ඒ කෙනා අනිත් අයටත් ඒ දේවල් කියල දෙන කෙනෙක්ලු.

මම ඒ කෙනාටවත් , අර තේ කඩේ අයියටවත් , AL වලට උපදෙස් දෙන AL නොලියපු අයටවත් කරන අගෞරවයක් හෝ අගතියක් කරන්න නෙවේ මේ උත්සාහ කරන්නෙ.

මම උත්සාහ කරන්නෙ , තමන් අනුගමනය කරන කෙනාව හෝ උපදෙස් ගන්න කෙනාව හැමතිස්සෙම දෙවියෙක් වගේ දකින්න එපා කියන්න. අපේ ජීවිතය වෙන අය ලව්වා උස්සගන්න හදන්න එපා. එහෙම කෙනෙක් අපිව අතෑරියොත් එහෙම ඇපත් නෑ. පාඩම් කරන්න දන්නැත්තං , ඔයාම එක එක විධි අනුගමනය කරන්න. ගොඩක් අය පේජ් වලයි චැනල් වලයි study tips හොය හොය ඉන්නවා. ඒ study tips හොය හොය වැය කරන වෙලාවෙ ගිහිල්ල , ඔයාගෙම උත්සාහයෙන් අලුත් ක්‍රමයකට වැඩ කරන්න පුරුදු උනා නං ඔයාට සෑහෙන වටිනව ඒක.

ලංකාවෙ මිනිස්සුත් තමන්ගෙ රස්සාව කරන විදිහ ඇරුනම අනිත් හැම දේ ගැනම දන්නවා. ඔය සෝශල් මීඩියා වල එහෙම සමහරු දාන්නෙ , වැඩ කළමණාකරණය කරගන්න විධි කියල එක එක ඒව. අපේ අම්මලගෙ ඔෆිස් එකෙත් ඉස්සර හිටියා ෆේස්බුක් එකේ මැනේජ්මන්ට් ටිප්ස් දාන කෙනෙක්. ලස්සන අක්ක කෙනෙක්. මම ගොඩක් වෙලාවට ඔෆිස් එක ඇතුලෙ ඉතින්. එයාමයි ඒ දේවල් ලියන්නෙ. හැබැයි ඔෆිස් එකේ එයාගෙ මේසෙ නිකං පිස්සිගෙ පලා වෙජිටබල් මල්ල වගේ. ඩෙක්ස්ටොප් එකේ ෆයිල් එකක් හොයන්න අනිවාර්යෙන්ම ෆයිල් එකේ නම ගහල deep search කරන්න ඕනෙ. මාව කතාවට සෙට් වෙන්නෙ එතනින්.

හැමෝම පම්පෝරි කයිවාරු ගහනව අනිත් අයට වැඩ කරන්න ඕනෙ විදිහ ගැන කිය කිය. ලංකාවෙ මිනිස්සු , තමනුත් වැඩ කරල අනිත් අයටත් වැඩ කරන්න කිව්ව නං රට මෙහෙම තියෙනවද?. අපෝ නෑ. ලංකාවෙ මිනිස්සු කරන්නෙ තමන් මෙලෝ වැඩක් කරන්නැතුව නැතුව අනිත් අයට උපදෙස් දෙන එක.

ඔය සෝශල් මීඩියා වල ඔහොම උපදෙස් දෙන ගොඩක් උන් කරන්නෙ ගෙදරින් පිනට කකා ඉන්න එක. මොකද ඇත්තටම වැඩ කරන මිනිහට දවසම සෝශල් මීඩියා වල ඉන්න වෙලාවක් තියෙයි කියල හිතනවද?. එයාල ෆේක්බුක් එකේ නෙවේනෙ වැඩ කරන්නෙ.

මැච් එකක් බලනකොට අපේ අයියලා දසුන්ට කැප්ටන්සි එක ගැන උපදෙස් දෙන්න යනවා. ලෙදර් බෝලයක්වත් අල්ලල නැති උන්. සමහරු තමන්ගෙ ඔෆිස් ටයිම් එකේ වැඩ ඔක්කොම පැත්තක දාල මැච් එක බල බල , ටීම් එකට බනිනවා හරියට සෙල්ලම් කරන්නෑ කියල. ඊට පස්සෙ ෆේස්බුක් එකේ පෝස්ට් එකකුත් දානවා ශෝට් බෝල් දාන්න එපා හරකො කියල.

මම මේ කිව්වෙ තාම සමාජය තුළ ස්ථාවර නොවුන අය ගැනනෙ. එහෙම අයගෙන් උපදෙස් ගන්න එක එච්චර සුදුසු නෑ කියල තාමත් හිතුන්නැත්තං මම මගෙ පෞද්ගලික දෙයක් කියන්නම්.

මම මානසික රෝග ස්පෙශලිස්ට් කෙනෙක් ගෙන් බේත් ගන්නව. මම ට්‍රැක් ඩයල් එකක්වත් , මංඥං පොරක්වත් නිසා නෙවේ. මම අධිකව සංවේදී කෙනෙක්. සහ මට මාර විදිහට කේන්ති ගියා ඉස්සර. ඒකට උපදෙස් ගන්න. දවසක් මම ඩොක්ටර්ව හම්බෙන්න ගියේ සෙම තත්වයක් එක්ක. මම නිතරම උගුර පාදන්න ගත්තා. ඩොක්ටර් මගෙන් ඇහුවා සෙමද කියල. මම ඇහුවා "ඔව් ඩොක්ටර් ඒකට කරන්න පුලුවන් දෙයක් නැද්ද" කියල. ඩොක්ටර් හිනා වෙලා කිව්වා "ඒක මගෙ ක්ශේත්‍රය නෙවෙයිනෙ. මම ඕන්නං ඩොක්ටර් ______ ගෙන් අහල මැසේජ් එකක් දාන්නං" කියල.

ස්පෙශලිස්ට් කෙනෙක් පවා තමන්ගෙ ක්ශේත්‍රයෙන් පිට දේවල් ගැන වෙන මිනිස්සුන්ට උපදෙස් දෙන්න යන්නෑ. ඒ එයාල ඒ දේවල් ගැන දන්නැති නිසා හෝ , ඒ අනිත් ඩොක්ටර්ට රෝගින් අඩුවෙයි කියල නෙවෙයි. ඒ ඩොක්ටත් සෙම්ප්‍රතිශ්‍යා තත්වයට කරන්න පුලුවන් දේවල දන්නව ඇති ටිකක් හරි. හැබැයි තමන්ගෙ රැකියාවෙන් හෝ හොඳින්ම දන්නා විශය පථයෙන් පිට පරිභාහිර දේවල් ගැන මිනිසුන්ට උපදෙස් දෙන්න යන එක උචිත දෙයක් නෙවෙයි කියල ඔවුන් දන්නවා.

ඒ නිසා තමන්ගෙ යහපත උදෙසා මොළය කල්පනා කරල වැඩ කරන්න. ඔයත් අර කිව්ව වගේ කිසිම වැඩක් නොකර වෙන අයට උපදෙස් දෙන කෙනෙක් නං , ඒක නවත්තල මුලින් සාර්ථක කෙනෙක් වෙලා ඉන්න.

මම මගෙ ආටිකල් වලදි කියනව වගේ ඔයා මේ ආටිකල් එකවත් 100%ක් විශ්වාස කරන්න ඕන්නෑ. ස්වයං සීමාවක ජීවත් වෙන්න. මමත් මේ ගොඩක් ආටිකල් ලියන්නෙ කරුණු හොයල හොයල. LearnBits තුළ පළ වෙන ගොඩක් දේවල් පවා විවිධ ක්ශේත්‍ර වල ප්‍රවීණයන් විසින් කියපු දේවල්. අඩුගානෙ ඒ දේවලුත් ඔයා සිරාවටම විශ්වාස කරන්න ඕන්නෑ. ඔයාට පුලුවන් ඒ ගැන හොයල බලල විශ්වාස කරන්න. ඒ නිසා තමන්ගෙ වැඩේ කරන්න මුලින්. අනිත් අයට උපදෙස් දෙන්නැතුව.
 

 

More From LearnBits

ඔසප් වේදනාව සමනය කරගන්නෙ කොහොමද
ටෙලිග්‍රෑම් තුළ හමුවන විවිධ චරිත
සංවේදී අය දුර්වලද?

Post a Comment

Previous Post Next Post

Contact Form