පංතියෙ ගැහැණු ළමයෙක්ට කතා කරන්නෙ කොහොමද?

 
 Relationship Tips     LearnBits 

ඔයා කැමැති ගැහැණු ළමයට කතා කරමු.

 
කිසිම අත්දැකීමක් නැතුව කෙල්ලෙක් එක්ක කතා කරනව කියන්නෙ පීනන්න බැරුව මූදට පනිනව වගේ වැඩක්. අත්දැකීම් එහෙම ඇතිනෙ සමහරුන්ට.

ඉතින් අද අපි බලමු , පංතියක ඉන්න , ඔයා කැමති ගැහැණු ළමයෙක් එක්ක හරියටම කතා කරන්නෙ කොහොමද කියල. මම මේක ලියන්නෙ කොල්ලොන්ට නිසා , ලිපියත් අපේ භාශාවෙන්ම දානව. සංස්කෘතික වදන් දැම්මට අපේ උන් ඕව කියවන්නෑ.

එහෙනං යමු ලිපියට. අපි ප්‍රධාන පියවර තුනක් ඔස්සේ , අදාළ කෙල්ලව දැනහඳුනගමු.

 

ප්‍රථම බාධකය බිඳින්න.

 

1. එයාගෙන් පොඩි දෙයක් ඉල්ලන්න.

 
පළවෙනි ඇමතුමෙන්ම හිඟාකනව කියල හිතන්න එපා. කෙල්ලොන්ගෙ පොඩි ගතියක් තියෙනව බං , කොල්ලෙක් ඇවිල්ල මොනා හරි ඉල්ලුවම අමුතු සතුටක් දැනෙනව එයාලට. හරියට නිකං , අන්තඃපුරේක හොඳම බිසව[1] වගේ සීන් එකක්.

කෙනෙක්ට කම්මැලි හිතෙන්නැති වෙන්න ටෝක දාන්න තියෙන හොඳම විදිහක් තමයි , එයාලගෙන් දෙයක් ඉල්ලන එක. ඉතින් මෙතනදි අපි යොදාගන්නෙත් ඒ උපක්‍රමයම තමයි.

පංතියෙ , ඔයා කැමති ගැහැණු ළමයගෙනුත් දෙයක් ඉල්ලන්න. එයත් එක්ක කතා කරන්න පොටක් හදාගන්න විතරයි මේක යොදාගන්නෙ.

  • මතක තියාගන්න බොහොම කුඩා දෙයක් ඉල්ලන්න. (පළවෙනි පාරම කෙල්ලගෙන් "මාව බඳිනවද" කියල ඉල්ලන්න එපා)
  • උදාහරණයකට ඔයාට පුලුවන් , පංතියෙ නෝට් එකක් එයාගෙන් ඉල්ලන්න. එහෙමත් නැත්තං හදිස්සියෙම පෑනක් නැති වෙලා , ලියන්න පෑනක් ඉල්ලන්න පුලුවන්.
  • එහෙමත් නැත්තං තිබහට බොන්න වතුර බෝතලයක් ඉල්ලන්න පුලුවන්. අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි මේ ක්‍රමය[2]

     

2. එයාගෙන් යම් දෙයක් ගැන විමසන්න.

 
කලින් අපි මොනා හරි ඉල්ලුවනෙ. එතනින් අපි කලේ , එයයි ඔයයි අතර තියෙන චීන මහා ප්‍රාකාරෙ පොඩි හිඩැසක් හදපු එක. දැන් අපි කරන්නෙ ඒ හිඩැස තව ටිකක් බිඳින්න.

ඔයා තාම ඒ කෙනාව හෝ ඒ කෙල්ල ආස දේවල් මුකුත් දන්නැති නිසා ඔයාට තාම ඒ දේවල් ගැන කතා කරන්න බෑ. හැබැයි ඔයාට පුලුවන් පංතියෙදි , ඔය දෙන්නටම පොදු උන දෙයක් ගැන කතා කරන්න.

හැබැයි මේ වෙලාවට හිපොක්‍රටිස්[3] වගේ වෙලා හරියන්නෑ.

ඔයාට කියල දීපු පාඩම පට්ටෙටම තේරුනත් ඔයාට පුලුවන් , ඒ කෙල්ලගෙන් ඒ පාඩමේ මොකක් හරි අහගන්න. (හැබැයි ලේසි එකක් අහපං. ඒකිටත් බැරි අටමගුලක් අහල ඒකිව අපහසුතාවට පත් කරන්න එපා.)

  • ඔයාට පුලුවන් මොකක් හරි පොඩියට විස්තර කරන්න ඕනෙ දෙයක් ගැන එයාගෙන් අහන්න. අහන දේ පොඩි උනාට , මේ මාර්ගයෙන් ඔයාට පුලුවන් වෙනවා දිගු කතාබහක් ඇති කරගන්න.
  • ඒකටම තව තව දේවල් එකතු කරල "එතකොට මේක උනේ කොහොමද? අරක උනේ කොහොමද? වගේ දේවල් අහන්න
  • එයාටත් ඒ පාඩම තේරිලා නැත්තං , ඔය දෙන්නම එකම වගේ මැට්ටො දෙන්නෙක් කියල දැනෙන්න අරින්න. මම කිව්වනෙ කෙල්ලො හුඟක් අය ආසයි same vibes තියෙන අයට.

     

3. ඇයව හිනාගස්සන්න පුලුවන් දෙයක් කරන්න.

 
ඇත්තටම මම කෙල්ලොන්ගෙ හිත දිනාගන්න ගොඩක් වෙලාවට කරන්නෙ මේක. දැන් නං නෑ. ඉස්සර මගෙ ජීවිතේම විහිළුවක් වෙලා තිබ්බෙ.😂. ඉතින් පංති වල _____ කිව්වම හැමෝම දන්නවා.

උඹලටත් පුලුවන් ඒ ක්‍රමයෙන් එක මාලුවෙක්ගෙ නෙවේ , මාලු ටැංකියකම හිත දිනාගන්න.

හැබැයි පංතියෙ ගොන් ආතල් දෙන්න යන්න එපා. ඔයා විහිලුවක් කරන වෙලාවට හෝ , වෙන කෙනෙක්ගෙ විහිලුවකට අදාළ කෙල්ල හිනාවෙන වෙලාවෙ , එයාගෙ ඇස් දිහා බලන් ඉන්න. ඔයා එයා දිහා බලන් ඉන්නව කියල එයා දැක්කොත් , එයාගෙ හිතට පොඩි සිග්නල් එකක් යයි "අන්න අරය මගෙ දිහා බලනවනෙ." කියල.

(අර මොක්කුද උන් වගේ පැණි පෙරාගෙන , සික් එකේ වගේ බලන්න එපා. නිහතමානී බැල්මක් දාන්න. අර වගේ මානසිකයෙක් වගේ බලන එකට කෙල්ලො ආස නෑ. එයාල හොයන්නෙ gentleman........see more)

 

4. ඒ කෙල්ලගෙ මතයන් ගැන විමසන්න.

 
කෙල්ලෙක් දිහා බලන් හිටියට , ඒ කෙල්ල උඹ එක්ක කතා බහ කරල දැනහඳුන ගන්නෙ නෑ. ඒකට උඹ විසින් ට්‍රයි එක දාල මුලින් ඒ කෙල්ල එක්ක කතා බහ කරන්න ඕනෙ. ඒකට උඩ කිව්ව විධිහක් හෝ ඔයාටම අනන්‍ය උන විදිහක් යොදාගන්න. ඒකෙ ප්‍රශ්නයක් නෑ.

මැසේජ් කරන එක ගැන මම මුකුත් කියන්නෑ. ඒක සාර්ථක වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්. කොහොම උනත් ඔයාට පුලුවන් , පංතියෙ හෝ ඔය දෙන්නටම පොදු දෙයක් ගැන , එයාගෙ මතයන් විමසන්න.

උදාහරණ,

  • "මේ ගැන ඔයා මොකද හිතන්නෙ?"
  • "ඔයාගෙ අදහස මොකක්ද එදා මිස් කියපු දේ ගැන?"

     

5. එයාව අගය කරන්න. එයාට ස්තූතියි කරන්න.

 
කෙල්ලො ආසයි , තමන්ව වෙන කෙනෙක් අගය කරනව බලන්න. කෙල්ලො නෙවෙයි අපි හැමෝම ආසයි. ඒ උනාට හැම කෙල්ලෙක්ම එකම විදිහට නෑ. එක එක අය එක එක විදිහට වෙනස් වෙනවා.

උදාහරණයකට සමහර කෙල්ලො සුදුයි , සමහරු තලෙලුයි , සමහරුන්ගෙ සම කලුයි. ඉතින් මේ එක එක අයට එන්නෙ එක එක විදිහෙ අගය කිරීම්. මෙන්න මෙතනදි උඹ පරිස්සම් වෙන්න ඕනෙ.

හැමතිස්සෙම කෙල්ලෙක්ට ගරුත්වයක් ඇති වෙන ආකාරයේ අගය කිරීම් හෝ ස්තූති කිරීම් කරන්න. අපේ සමහර රට මීහරක් ඉන්නවා කෙල්ලෙක් දැක්කම "අම්මෝ පපුව , අම්මෝ කඳ , අම්මෝ පු... , අම්මෝ සැප සැප"වගේ ගොන් ආතල් ගන්න. කෙල්ලෙක්ට කරන්න පුලුවන් පහත්ම ආකාරයේ නින්දාවක් තමයි ඒක. මොකද හැම කෙල්ලෙක්ටම විශේෂ යමක් තියෙනව සහ , ඒ ඒ කෙල්ල ආඩම්බර වෙන දෙයක් තියෙනවා.

අපි අගය කරන්න ඕනෙ ඒ කෙල්ලත් අගය කිරීමක් බලාපොරොත්තු වෙන පැත්තක් මිසක් අපිට හොඳ දේවල් ගැන නෙවෙයි.

  • එයාගෙ hairstyle එක ගැන අගය කිරීමක් කරන්න.
  • එයාගෙ ඇඳුම් පැළඳුම් ගැන අගය කිරීමක් කරන්න.( "ඒ ඔහොම ගවුම් අඳින්නකො. ඒවට හෙන ලස්සනයි" )
  • විභාග වලට ලකුණු ගත්තම ප්‍රසංශා කරන්න. අගය කරන්න.

     

6. ඔයාට පුලුවන් වෙලාවට නෙවෙයි , එයාට පුලුවන් වෙලාවට ළං වෙන්න බලන්න.

 
කෙල්ලො හැමදාම එකම mood එකෙන් ඉන්නෑ. කෙල්ලොන්ටත් ප්‍රශ්න තියෙනවා. ශාරීරික හෝ මානසික වෙන්න පුලුවන්. ඉතින් ඒ කෙල්ල එක්ක කතා කරන්න තෝරගන්න ඕනෙ එයාගෙ mood එක හොඳ , යහපත් දවසක්.

සමහරු ඉන්නවනෙ කෙල්ලෙක් හදිස්සියෙන් යන වෙලාවටත් කතා කරන්න ගන්නව , එයා වැඩක ඉන්න වෙලාවටත් කතා කරල කරදර කරනවා.

ඒ දේවල් කරන්න එපා. එයාගෙ නිදහස එයාට දෙන්න. ඒක අහුරන්න එපා.


 

එකිනෙකාව දැනහඳුනගන්න


 

1. කතාබහ පොඩ්ඩක් next ලෙවල් එකට අරන් යන්න.

 
අපි මුලින් කතා බහ කරල , අදාළ කෙල්ලව දැනහඳුන ගත්තනෙ. ඔන්න දැන් ඔයාට පුලුවන් පාඩම් වල කොටස් අහගන්න මුවාවෙන් එයාගෙ නම්බරයක් ඉල්ලගෙන , පොඩියට චැටක් දාන්න. ගොඩාක් ලොකු දේවල් කතා කරන්න එපා.

පංතියෙ වෙච්ච යම් දෙයක් හෝ පංතිය සම්බන්ධ දේකින් පටන් අරන් ටික ටික වෙන පැත්තකට කතාව අරන් යන්නෙ. එයා ආස දේවල් ගැන අහන්න. එයා වෙන පංති යන්නෙ කොහෙද අහන්න. "හෙට පංති එනවද" වගේ දේවල් අහන්න.

හැබැයි මතක තියාගන්න. එයාගෙ පෞද්ගලික දේවල් ගාවගන්න එපා. අම්මලගෙ රස්සාවල් , එයාගෙ සහෝදර සහෝදරියො ගැන , එයාගෙ ජීවිතේ සම්බන්ධ දේවල් ගැන අහන්න යන්න එපා. ඒව කතා කරන්නත් එපා.

 

2. හොඳ සත්‍ය පෞර්ෂයකින් එයා එක්ක කතා කරන්න.

 
කෙල්ලෙක් එක්ක කතා කරනකොට අපේ ගොඩක් උන්ගෙ පපුව ඉස්සරහට ඇවිල්ල , මූණ නිකං වෙලා යනවනෙ. එහෙම කරන්න එපා. ඔයා ඔයාගෙ සාමාන්‍ය හැසිරීම් රටාවම පෙන්නුම් කරන්න.

  • පහසුවෙන් හිනාවෙන්න. ආයාසයෙන් හිනා වෙන්න එපා. ගෑණු ළමයි ආසයි එහෙම ස්වභාවිකවම හිනා වෙන අයට. psychopath කෙනෙක් වගේ හිනා වෙන්න එපා ඈ.
  • කෙලින්ම ඇය දිහා බලාගෙන කතා කරන්න. Body language එක පාලනය කරගන්න.
  • ඇයත් එක්ක කතා කරනකොට , එයාගෙ ඇස් දිහා බලන් කතා කරන්න.

     

3. ඇය ආස දේවල් හොයාගන්න.

 
දැන් අපි පළවෙනි බාධකය බිඳගෙන , අදාල කෙල්ලත් එක්ක කතා කරන්න පටන් අරන්නෙ තියෙන්නෙ. දැන් ඔයා අඟවන්න ඕනේ ඔයත් ආස එයා ආස දේවල් වලටමයි කියල. මම කලිනුත් කිව්වනෙ. කෙල්ලො ආසයි same vibes තියෙන අයට.

මේකට අනුගමනය කරන්න වෙන්නෙ මෙන්ඩල්ගේ ක්‍රමය.[4] එතනින් ඔයාට දැනගන්න පුලුවන් එයා කැමති මොනාටද අකමැති මොනවටද කියල.

 

4. ඔයා ගැනත් කතා කරන්න.

 
මේක ඇත්තටම ඕනෙම සම්බන්ධයකදි වැදගත් වෙන දෙයක්. කතාබහක් කරනකොට එක්කෙනෙක්ට විතරක්ම කතා කරන්න දෙන්න එපා. දෙන්නම කතා කරන්න ඕනෙ. ආදර සම්බන්ධයකදි , කෙල්ල කතා කරනකොට කොල්ලා කටපියන් ඉන්නවා. ටික කාලෙකින් කොල්ලට හිතෙන්න ගන්නවා , කෙල්ල හැමදේම කරන්නෙ කෙල්ලගෙ උවමනාවන්ට විතරයි කියල.

ඒකට හේතුව සංවාදයකදි , දෙදෙනාගෙම දායකත්වයක් නොමැති වීම. ඉතින් ඔයත් , මේ යාලුවෙක් කරගන්න හදන කෙල්ල එක්ක කතාබහ කරනකොට , ඔයා ගැනත් කියන්න. ඔයත් කතා කරන්න.

 

5. එයාගෙ යාලුවන්ව දැනහඳුන ගන්න.

 
සාමාන්‍යෙන් අපේ යාලුවෙක්ගෙ යාලුවෙක් , අපෙත් යාලුවෙක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩීනෙ. ඔයාලටත් එහෙම අය ඇති. මෙතනත් තියෙන්නෙ ඒ සිද්ධාන්තයමයි.

ඔයා කැමති ගැහැණු ළමයගෙ යාලුවො එක්ක යාලු වෙන්න. මම මේ කියන්නෙ එක පාර දෙක තුන රන් කරන්න කියල නෙවේ. එයාගෙ යාලුවො එක්ක යාලු වීම තුළින් , ඔයාට ලේසි වෙනව අදාළ ගෑණු ළමයට තවත් සමීප වෙන්න.


 

යහපත් සබඳතාවක් වර්ධනය කරගන්න.

 

1. ඉදිරි සංවාද වලට සැලසුම් සකස් කරන්න.

 
ඔයා සාමාන්‍යෙන් වක්කඩ වගේ කටට එන ඕනෙ කුණුහරපයක් කියන කෙනෙක් නං හෝ , කියන්න තියෙන ඔක්කොම එක සැරේ කියල ඉවර කරන කෙනෙක් නං , මේ වගේ සැලසුමක් හදන එක ගොඩක් වැදගත්.

හිතන්න ඔයා කටට එන හැමදේම කියන කෙනෙක් කියල. ඉතින් කෙල්ලෙක් එක්ක පොඩ්ඩක් කතාබහ කරපු ගමන් , ඔයා ඒ කෙල්ල එක්ක හැම අවකලන , ජ්‍යාමිතික කතා ටික කියවන්න ගියොත් , උඹත් නෝන්ඩි වෙනව සහ ආපහු ඒ කෙල්ල එක්ක කතා කරලත් හමාරයි.

ඉතින් පෙර සැලසුමක් ඇතුව , කතා කරන්න හිතාගෙන ඉන්න දේවල් විතරක් කතා කරන්න.

ඒ වගේම හැමදෙයක්ම එක සැරේ කියල ඉවර කරන්න එපා. ඊළඟ පාර හම්බුනාම කියන්න දේකුත් ඉතුරුකරගන්න. නැත්තං ආපහු සංවාදයක් ඇති කරගන්න හෙන කට්ටක් කන්න වෙනවා.

උදාහරණ,

  • "මට හෙට මතක් කරන්න ඊයෙ මිස් කියපු කතාව කියන්න. ඒක මරු අනේ."
  • "ඔයා හෙට ක්ලාස් එනවද. මට අහගන්න දෙයක් තියෙනවා ගාණක් සම්බන්ධව"

     

2. ඇය ගැන උනන්දු වෙනවා කියල පෙන්නන්න.

 
මේ කියන්නෙ සුදු තාත්ති කෙනෙක් වෙන්න කියන එක නෙවෙයි. එයා ගැන නිකං වෙන් අයට වඩා හිතනව කියල පෙන්නන්න. කාඩ් මාක් කරනකොට එහෙම , එයා ඔයාට පිටිපස්සෙන් හිටියොත් , එයාට ඉස්සරහට එන්න දෙන්න. යාලුවො ඒ කෙල්ලට විහිලු කරනකොට , පොඩ්ඩක් සුපර් මෑන් වෙලා කොල්ලො ටිකව මෙල්ල කරන්න. මේ වගේ දේවල් කරන්න.

හැබැයි ඕවර් යන්න එපා. ඕනෙම දේක සීමාවක් තියෙනවා. තාම මෙයා ඔයාගෙ කෙල්ල නෙවෙයි. අපි මේ කෙල්ලෙක් එක්ක කතාබහ කරල ආස්‍රය කරන්න හදන්නෙ. උඹට ඒ කෙල්ලව ටෝක් කරන්නම ඕනෙ නං පොඩ්ඩක් ඕවර් ඇක්ටින් පාරක් දැම්මට කමක් නෑ.

හැබැයි වැරදි අදහසක් එයාට දැනෙන්න අරින්න එපා.

ඒ වගේම නිකං වැඳ වැටීගෙන යන්න හදන්න එපා. දවස් දෙකක් විතර කතා කරල , ආපහු දවසක් දෙකක් හිනාවක් දාල කැපෙන්න. එයාටත් උඹේ සංවාදයන් වල අඩුවක් ඇතිවෙන්න දෙන්න.

 

3. විශේෂ අවස්ථා වලට එයා එක්ක එකතු වෙන්න.

 
ඔයාට පුලුවන් ඔය උපන්දින පාටි වලට , අනං මනං වලට එයාටත් එන්න කියන්න. යාලුවො එක්ක කන්න යනකොය එයාවයි එයාගෙ යාලුවන්වයි එක්කන් යන්න වගේ දේවල් කරන්නත් පුලුවන්.
 


 
මේ දේ මතක තියාගන්න. ඕනෙම කෙනෙක් කැමතී ප්‍රසන්න මිනිසෙක්ට. ප්‍රසන්නයි කියන්නෙ ලෝකෙ ලස්සනම කොල්ලා වෙන එකට නෙවේ. ඇඟ පොඩ්ඩක් ශේප් කරගෙන , හරියට කොණ්ඩෙ පීරලා , ලස්සනට ඇඳුම් ඇඳගෙන වැදගත් විදිහට ඉන්න එකට.

මොකද අමු පෙරේතයා වගේ ඉඳගෙන කෙල්ලො එක්ක කතා කරන්න යන එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි.

ඒ නිසා තමන්ගෙ රූපය ගැනත් වදවෙන්න. බියුටි කචල් දාන්න ඕන්නෑ. නෝමල් එකේ ලස්සනට පිරිසිදුවට ඉන්න. හමේ පාට කියන්නෙ එච්චර වැදගත් දෙයක් නෙවෙයි.

 

පැහැදිලි කිරීම්
  • [1] - අන්තඃපුරේක හොඳම බිසව

    අන්තඃපුරේක , රජා නිතරම කතා කරන්නෙ රජා කැමති බිසවටනෙ. එතකොට ඒ බිසවත් හිතනවා "රජා මටනෙ වැඩියෙන්ම කැමති. මම තමා මේ අන්තඃපුරේ හොඳම බිසව" කියල.


     
  • [2] - වතුර බෝතලයක් ඉල්ලන එක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි.

    ඇත්තටම මේ ක්‍රමය මමත් අනුගමනය කරපු ක්‍රමයක්. 100% ක් සාර්ථකයි. හැබැයි ඒක රඳාපවතින්නෙ උඹේ දක්ශතාව මත.

    මහ දෙයක් නෑ. මුලින්ම , වතුර බෝතලයක් හොයනව වගේ අදාළ කෙල්ලටත් ඇහෙන්න හෝ පේන්න ටෝක දානව වටේ උන්ට. ඊට පස්සෙ ස්... ස්... පාරක් හෝ excuse me පාරක් දාල ඒ කෙල්ලගෙන් වතුර එකක් ඉල්ලහං. එක දවසක් දුන්නට පස්සෙ දවස් දෙක තුනක්ම ඒක ඉල්ලහං. දන්නෙම නැතුව දෙන්නම පොඩ්ඩ පොඩ්ඩ දැන හඳුනගනී. හැබැයි මචෝ වතුර බෝතලේ ඉල්ලපු ගමන් කැමැත්ත ප්‍රකාශ කරන්න යන්න තරන් නං අවකලන වැඩ කරන්න එපා.


     
  • [3] - හිපොක්‍රටීස් වගේ වෙන්න එපා

    සමහරු ඉන්නවනෙ පංතිවල නිකං හැමදේම දන්නවා , කිසිම ගේමක් නෑ , මේව නං nothing බං කියාගෙන ඉන්න. එහෙම කෙනෙක් වෙන්න එපා. ඔයා දැන උගත් වෙන්නැති. ඒත් ඒ බව පෙන්නන්නැතුව සාමාන්‍ය විදිහට ඉන්න උත්සාහ කරන්න. හුඟක්ම පණ්ඩිත උනාමත් ගේමක් ගහන්න අමාරු වෙනවා.


     
  • [4] - මෙන්ඩල්ගේ ක්‍රමය

    මෙතනදි ඔයා කරන්න ඕනෙ එක එක මාතෘකා ඔස්සේ කතා පටන් ගන්න එක. හරියට මෙන්ඩල් මෑ ශාක පැළ කර කර ඒවගෙ රූපාණු දර්ශයන් අරගත්ත වගේ. එතකොට අදාල ගෑණු ළමයා උනන්දුවක් දක්වන මාතෘකා තෝරල බේරල ගන්න.

     

 

 

More From LearnBits
1 2

Post a Comment

Previous Post Next Post

Contact Form