ආදරයක් බිඳුනම එයාව අමතක කරල ජීවිතේ ඉදිරියට යමු.

 Relationship Tips     LearnBits 


Lets Move on!

Photo


 
වර්තමානයේ අපිට බහුලවම අත්දකින්න වෙන දෙයක්. සමහරුන්ට නං මෑතකාලීන අත්දැකීම් පවා ඇති. ඉතින් අද අපි කතා කරමු සම්බන්ධයක් බිඳුනට පස්සෙ හිත හදාගන්නෙ කොහොමද කියල. ඇත්තටම මේක ආදර සම්බන්ධයකට විතරක් නෙවෙයි. ඕනෙම සම්බන්ධයකට ගැලපෙන්න මම ලියන්නෙ.

අපි මෙතනදි කරන්නෙ යම් යම් උපක්‍රම ඔස්සේ ඒ කෙනාව අමතක කරන එක. අපි ආදරය කෙනෙක් , ගියාම කොහොමත් දුකයිනෙ අපිට. ඉතින් අද අපි කතා කරමු එහෙම දෙයක් උනොත් , ඒ කෙනාව අමතක කරල ජීවිතය දිගටම පවත්වගන්නෙ කොහොමද කියල.

 

ඒ කෙනාව ඔයාගෙ ජීවිතෙන් අයින් කරන්න.

1. එයත් එක්ක තියෙන Contact ඔක්කොම අයින් කරන්න.

 
අපිට කෙනෙක්ව හෝ , වෙච්ච දෙයක් අමතක කරන්න අමාරුයි , අපි දිගින් දිගටම ඒ දෙය දකිනව නං හෝ ඒ කෙනා සමග සම්බන්ධ වෙනව නං. ඉතින් අපිට පුලුවන් , ඒ කෙනා සමග තියෙන හැම සම්බන්ධතාවක්ම නවත්තල දාන්න.

  • ෆේස්බුක් friend කෙනෙක් නං එයාව unfriend කරන්න.
  • පරණ චැට්ස් අයින් කරන්න. ඩිලීට් කරල දාන්න.
  • එයාගෙ පොටෝස් වීඩියෝස් අයින් කරන්න. (අමතර ඒව[1] තියෙනව නං ක්‍රමවත්ව බැහැර කරන්න.)
  • එයා දීපු ලියුම් , කොළ , තෑගි අනං මනං ඔක්කොම ඉවත් කරන්න. නැත්තං පහසුවෙන් පේන්නෙ නැති තැනකට දාන්න. (පෙට්ටියක් ඇතුලට වගේ.)

     

2. එයා ආපහු එයි කියල හිතන එක නවත්තන්න.

 
අපි ආදරය කරපු කෙනෙක් අපිට වංචාවක් කරල හෝ වෙනත් හේතුවක් නිසා අපිව අතෑරල ගියාම අපිට තරහක් දුකක් එනව තමයි. ඒත් එක්කම අපි හිතන්න ගන්නව , "අනේ එයා ආපහු ආව නං" කියල. මෙන්න මේක නවත්තන්න. හිතන්න ඔයාට ආපහු එයා එක්ක ඉන්න වෙන්නෑ කියල.

"මේක නිකං කියන්න නං ලේසි. ඒ උනාට අපිනෙ දුක විඳින්න ඕනෙ" කියල හිතෙයි සමහරුන්ට. මමත් මේ අවස්ථාවට ඕනෙ තරම් මුහුණ දීල තියෙනව. ඒ කෙනා ගැන හිතන්නැතුව ඉන්නකොට , නිකංම ඒක කරන්න පුලුවන් වෙනවා.

(ආදරය නිසා වේදනාවක් ආවම ඔයාට ඕනෙ තරම් අඬන්න අවසර තියෙනවා. ආදරය නිසා අඬන එක බොළඳකමක් නෙවෙයි.)

ඔයා ඔයාටම කියාගන්න "අපි වෙන්වුනේ හේතුවක් ඇතුව. ඒ නිසා අපි ආපහු එකතු උනා කියල වැඩක් වෙන්නෑ" කියල.

 

3. එයාට ලියුමක් ලියන්න. හැබැයි යවන්න එපා.

 
ඔයාව දාල ගිය කෙනාට කියන්න තියෙන හැමදේම කොළේක ලියන්න. හැමදේම ලියන්න. බනිනව නං බනින්න. ආපහු එන්න කියනව නං කියන්න. ඔක්කොම ලියන්න. ඒ ලියුම පිටු 100ක් උනත් කමක් නෑ , ඒක ලියන්න. ඔය දෙන්න ගත කරපු හොඳ කාලයන් , ඔයාලගෙ හොඳ මතකයන් , නරක කාලයන් , නරක මතකයන් , ඔයාගෙ හැඟීම් හැමදේම අකුරු කරන්න.

මේකෙන් ඔයාගෙ පීඩනය අඩු කරගන්න උදව් වෙනව වගේම හිත ඇතුලෙ තියෙන දුක අඩු කරගන්න උදව් වෙනවා.

 

වේදනාවට ඔයා හරහා ගමන් කරන්න ඉඩ දෙන්න.

1. ඔයාටම මතක් කරගන්න.

 
ඔයාටම මතක් කරගන්න ඇයි ඔයාල වෙන් වුනේ කියල. සම්බන්ධය තියෙන කාලය ඇතුළත මොන ප්‍රශ්නය තිබ්බත් , වෙන් වුනාට පස්සෙ අපිට මතක් වෙන්නෙ , ඒ කෙනා එක්ක ගත කරපු හොඳ කාලයන් විතරයි.

අපිට ආපහු ආපහු ඒ කෙනාව ඕනෙ වෙන්නෙ ඒකයි. ඒ හින්දා ඔයා මතක් කරගන්න ඕනෙ , ඇයි ඔයාට එයා එක්ක සම්බන්ධය පවත්වන්න බැරි , ඇයි ඔයාට එයාව ඕන්නැත්තෙ කියල.

එයා ඔයාට වංචාවක් කලා නං ඔයා නිතරම ඒක මතක් කරගන්න. එයා ඔයාට බොරුවක් කලේ. එයා ඔයාට ආදරෙ කලේ නැ. ඒකයි ඔයාල වෙන්වුනේ කියල.

(තරයේ මතක තියාගන්න. හැමදේටම කෙල්ල/කොල්ලා බූට තිබ්බ කියන්න එපා. හේතුවක් ඇතුව බිඳුණු සම්බන්ධයකදි , එකිනෙකාට බැනගන්න හදන්න එපා. දෙදෙනාගෙම වැරැද්දක් තියෙන නිසයි ඒක එහෙම උනේ. ඒ නිසා තමන් නිවැරදි වෙන්න උත්සාහ කරන්න. තමන්ගෙ අඩුපාඩු හදාගන්න.)

 

2. එයාට සමාව දෙන්න. ඔයාගෙ තරහ නිවාගන්න.

 
ඇත්ත. සමහරු කරන දේවල් වලට ඔවුන්ට සමාව දෙන්න බෑ. ඒ වෙලාවට ඔයාගෙ තරහ නිවාගන්න උත්සාහ කරන්න. ඔයාල දෙන්න දවස් කීපයක් හරි හොඳින් ඉන්නැතිනෙ.

අන්න ඒ දවස් කීපයයි , සම්බන්ධය නැති වෙන්න හේතුවයි සසඳන්න. එයාගෙ හොඳ වගේම නරකත් දකින්න. එතකොට ඔයාට පුලුවන් වෙනව අපි හැමෝම මිනිස්සු , අපි හොඳ වගේම නරක දේවලුත් කරනව කියල අවබෝධ කරගන්න.

එතකොට නිකංම ඔයාගෙ තරහත් නිවේවි. එයා වැරැද්දක් කලා නං එයාට සමාව දෙන්නත් පුලුවන් වේවි.

ඒ වගේම හිතේ තරහක් තියාගෙන ආපහු ආපහු ඒ කෙනාව මතක් කර කර දුක් වෙනවට වඩා හොඳයි නේද , එයාට සමාව දීල එයා ගැන හිතේ තියෙන ඉඩ අයින්ම කරල දාන එක.

 

3. කාගෙවත් වැරැද්දක් නෑ කියල හිතන්න.

 
සාමාන්‍යෙන් සම්බන්ධයක් කැඩුනම දෙදෙනාම හෝ එක්කෙනෙක් හිතන්න ගන්නව වැරැද්ද තමන්ගෙ කියල. හෝ වැරැද්ද අනිත් කෙනාගෙ කියල. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි. ඔය දෙන්නටම ඔය දෙන්නා ඉල්ලන විදිහෙ කෙනා වෙන්න බැරි උන නිසයි සම්බන්ධය නැවැතුනේ.

ඒකට කවුරුත් කාගෙන්වත් බැනුම් අහන්න ඕන්නෑ. ඔය දෙන්නම කාලයක් හැකි උපරිම විදිහට අනෙකා පතන විදිහෙ කෙනෙක් වෙන්න මහන්සි උනානෙ. ඒක නැවතුනු ගමන් සම්බන්ධයක් නවතින එක සාමාන්‍යෙයි.

ඉතින් ඒකට ඔයා අනෙකාට චෝදනා කරන්නවත් , තමන්ටම බැන ගන්නවත් අවශ්‍ය නෑ. හිතන්න "අපිට ඉස්සරහටත් ප්‍රශ්න එන්න පුලුවන් අපි එකට හිටියොත්. ඒ නිසා අපි වෙන්වුන එක හොඳයි. මට එයා ඉල්ලන්න කෙනෙක් වෙන්න බෑ." කියල.

(කරන්න අමාරු බව ඇත්ත. නමුත් උත්සාහයක් දරන්න.)

 

4. අතීතය වෙනස් කරන්න හදන්න එපා.

 
අපි වැරැද්දක් කරල හෝ වැරැද්දකට මුහුණ දීපු ගමන් සති ගානක් හිතනව "අනේ මට ආපහු ආපස්සට ගිහිල්ල ඒක නිවැරදි කරන්න තිබ්බ නං" කියල.

මිනිස්සු හැටියට අපිට එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක්. එකම ගැටලුව එහෙම කරන්න බැරි වීම සහ එහෙම හිතන එකෙන් ඵලක් නැති එක. ඒ නිසා අපි ටිකකට ඒ සිතුවිල්ල අයින් කරමු.

අපි වෙනස් විදිහකට හිතමු ඒ ගැන. හිතන්න ඔයා එයාට සෑහෙන්න බැන්නා. ඒ නිසා එයා සම්බන්ධය නැවැත්තුවා කියල. ඔයාට දැන් හිතෙන්නෙ , "අනේ මම එහෙම නොබැන ඉඳියනං" කියලනෙ.

අපි හිතමු , "මම ඒ කලේ ලොකු වැරැද්දක්. මම ඒ වැරැද්දෙන් පාඩමක් ඉගෙන ගත්තා. මම ආපහු ඒ වැරැද්ද කරන්නෑ" කියල. නිකමට හිතල බලන්න එහෙම.

මටත් පොඩි අත්දැකීමක් තියෙනව එහෙම.

 

5. කාටහරි ඔයාගෙ හිතේ තියෙන දුක කියන්න.

 
මොන පල් හෑල්ල කියෙව්වත් , තමන්ට ප්‍රශ්නයක් ආවම මේව මුකුත් වලංගු වෙන්නෑ. මම මේක ලියන්නෙ ඒ සත්‍යතාව දැනගෙන. මටත් කියන්න ලේසී මෙහෙම කරන්න. අරම කරන්න එපා කියල. ඒ උනාට ඇත්තටම ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනා තරම් , වෙන කෙනෙක්ට ප්‍රශ්නය තේරෙන්නෑ.

ඔයාට වෙන කරන්නම දෙයක් හිතාගන්න බැරි නම් , ඔයාට පුලුවන් ඔයාගෙ දුක ඔයාගෙ ළඟම හිතවතෙකුට හෝ පිළිගතහැකි කෙනෙක්ට කියන්න. ලංකාව වගේ රටක ඒ ගැන දෙමාපියන්ට කියනව කියන්නෙ නං ඉල්ලන් කනව වගේ වැඩක්. ඒ නිසා දෙමාපියන් ඔයාලව 100%ක් තේරුම් ගන්න අය නං විතරක් එයාලට කියන්න.

මම යෝජනා කරනවා ඔයාගෙ ළඟම යහළුවෙක්ට කියන්න කියල. එහෙමත් නැත්තං ගෲප් එකක ඔයා කොහෙත්ම අඳුරන්නැති , නමුත් යම් විශ්වාසයක් තියෙන කෙනෙක්ට කියන්න.

හැබැයි ඔයා කියන දේ අහන කෙනෙක්ට කියන්න. මොකද සමහරු ආස නෑ වෙන අයගෙ දුක අහන්න. බාගෙට කියල නවත්තන්න එපා. ඒකෙන් ඔයාටමයි අමතර පීඩනයක් එන්නෙ. සම්පූර්ණ කතාවම අහන කෙනෙක්ට ඒ ගැන කියල හිතේ තියෙන බර අඩු කරගන්න.

 

ජීවිතේ ඉස්සරහට අරන් යන්න.

1. නැවතත් ස්වාධීන වෙන්න ඉගෙන ගන්න.

 
මතක තියාගන්න. ඔයා එයත් එක්ක යාලුවෙන්න කලිනුත් ඔයාම වෙලා හිටිය කියල. ඒ නිසා ඔයාව සම්පූර්ණ කරන්න වෙන කාවවත් ඕන්නෑ. දැන් එයා නැති නිසා ආපහු ඔයා ඔයාම වෙන්න ඕනෙ.

  • එයා නැති නිසා දැන් ඔයාට කරන්න පුලුවන් දේවල් වල ලිස්ට් එකක් හදාගන්න. උදාහරණයකට ඔයාට දැන් පුලුවන් ඔයාගෙ යාලුවොත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න.
  • එයා නැති නිසා ඔයා අතහැරපු දෙයක් ආපහු පටන් ගන්න. මතක තියාගන්න. එයා ගියා කියල ඔයා ආපහු අතහැරපු වැරදි දෙයක් පටන් ගන්නව නං ඔයා එයාට ආදරය කරලම නෑ. ඊටත් වඩා ඔයා මෝඩයෙක්. ඔයාගෙ ජීවිතේ වෙන කෙනෙක් නිසා විසි කරල දාන්න හදන මෝඩයෙක්.

     

2. ඔයාගෙ ශක්තීන් නැවත මතක් කරගන්න.

 
සම්බන්ධයක් බිඳුනට පස්සෙ ඔයාට හිතෙයි , ඔයා දුර්වල කෙනෙක් කියල. ඔයාට ඒ වේදනාව දරාගන්න තරම් ශක්තියක් නෑ කියල. ඒකට අපි මෙහෙම කරමු.

  • කොළයක් අරන් ලියන්න ඔයාගෙ හැකියාවන්. ඕනෙම මෝඩ දෙයක්. ඔයාගෙ හැකියාවන් ටික.
  • දැන් ලියන්න ඔයාට මීට කලින් ආපු ප්‍රශ්න ටිකක් ගැන.
  • දැන් මතක් කරගන්න ඔයා ඒවට මුහුණ දුන්න විදිහ ගැන. ඔයාගෙ හැකියාවන් ඔයාට උදව් උන විදිහ ගැන.
  • දැන් ඔයා හිතන්න වර්තමාන තත්වය ගැන. ඔයා ඔයාගෙ හැකියාවන් මේ තත්වය සමනය කරගන්න යොදාගන්න පුලුවන් විදිහක් ගැන හිතන්න.
  • උදාහරණයකට :- "මම එක පාරක් මැරතන් තරඟයකට යන්න ලෑස්ති උනා. මට මීටර් 200ක්වත් දුවන්න බැරුව හිටියෙ. ඒත් මම මාස දෙකකින් මැරතන් එකක් දුවන ගානට දි‍යුණු උනා. ඒ නිසා මට ශක්තිය තියෙන්නෙ ඕනෙ මේ වෙලාවෙ නොසැලී ඉන්න. මම අරම අභියෝගයක් සාර්ථකව අවසන් කරපු කෙනෙක්."

 
ඇත්තටම මේ දේ කරන්නෙ ඔයාගෙ ශක්තීන් ගැන ඔයාට ආපහු මතක් කරන්න වගේම , ඔයාගෙ අවධානය වෙනතකට හැරවීම සහ , එයාගෙන් තොර ලෝකයකුත් ඔයාට තියෙනව කියන එක ඔලුවට දාන්න.

 

3. අලුත් යාලුවො ඇතිකරගන්න.

 
සාමාන්‍යෙන් සම්බන්ධයකදී , දෙදෙනාගෙම යාලුවො දෙදෙනා ගැනම දන්නවා. ඉතින් ඔය දෙන්න දැන් වෙන් වෙලා ඉන්න වෙලාවටත් , ඒ අය ඔයාගෙන් ඒ ගැන විමසන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ ආපහු ඔයාට අර දුක ඇතිවෙන එක. ඒ නිසා ටික කාලෙකට පුලුවන් නං අලුත්ම යාලුවො කීප දෙනෙක් ඇතිකරගන්න.

අර කලින් අයව අතාරින්න කියනව නෙවෙයි. සිදුවීමෙ උණුසුම යනකං , පොඩ්ඩක් කල් ඒ අයව මගහරින්න බලන්න. ඒක ඔයාට සහනයක් වේවි. මොකද වෙන අයට කුතුහලේ නිසා ඇහුවට ආපහු ආපහු ඒ වේදනාවට මුහුණ දෙන්න ඕනෙ ඔයාටනෙ.

 

4. අලුත් කෙනෙක්ව හොයාගන්න Warning

 
මම මේ වැඩේ අනිවාර්‍ය කියනව නෙවේ. හැබැයි එක සම්බන්ධයක් ඉවර උන ගමන්ම වෙන එකක් පටන් ගන්න එපා. ඔයා දුක පහ කරගන්න කියල ඒක කලාට , අපි සමාජයෙන් එල්ල වෙන බලපෑම් ගැනත් සලකන්න ඕනෙ.

රැඩිකල් මිනිස්සු පොර ටෝක් දුන්නට "සමාජෙට බම්බු ගහගනින් කියල , අපි ආස දේවල් කරන්න" කියල, අන්තිමට ඒ පීඩනය පැටවෙන්නෙත් ඔයාගෙම ඔලුව උඩට. ඒ නිසා එක සිදුවීමක උණුසුම පහ වෙනකං , වෙන සම්බන්ධයක් පටන් ගන්න එපා කියන එක තමයි මගේ මතය.

කොහොම උනත් , ඔයා සූදානම් උන කාලෙක ආපහු සම්බන්ධයක් පටන් ගන්න වෙන කෙනෙක් එක්ක. අපි සදහටම එක්කෙනෙක් මත්තෙම නැහෙන්න ඕනෙ කියල දෙයක් නෑ.

ඒත් මම දන්නවා සහ මට හමුවෙලා තියෙනව , සමහරු එක්කෙනෙක් ගියා කියල ආපහු ජීවිතේට වෙන අය එක්ක යන්නැති. ඒ වගේම මට හම්බෙලා තියෙනව අද breakup වෙලා හෙට වෙන කෙනෙක් එක්ක affair පටන් ගත්ත අය.

ඒක තමන්ගෙ ජීවිතය. තමන්ගෙ තීරණය. ඔයාට හිතුනොත් move on වෙන්න , ඔයා ඒක කරන්න. ඔයාට හිතුනොත් "නෑ මට වෙන අය ඕන්නෑ" කියල ඔයා ඒක නොකර ඉන්න. කාගෙන්වත් වෙන බලපෑම් නිසා නෙවෙයි , ඔයාගෙ හිත කියන දේ අනුව කටයුතු කරන්න.

 

ඔයා ගැන වදවෙන්න.

1. ඔයාගෙ හැඟීම් වලට පිටවෙන්න දෙන්න.

 
කාලයක් ගිහිල්ල උනත් අතීත සිදුවීම් මතක් වෙනකොට අපිට ආපහු දුක හිතෙනව. අපිට ආපහු අඬන්න හිතෙනව. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට අඬන්න. ටික වෙලාවක් හොඳට අඬන්න. හැබැයි....,

අඬල විතරක් මදි. දැන් ඔයා හිනාවෙන්නත් ඕනෙ. අපේ හැඟීම් බැලන්ස් කරගන්න එකත් මේ ක්‍රියාදාමයේම කොටසක්. ඔයාට පුලුවන් ඔය සෝශල් මීඩියා වල තියෙන මෝඩ ජෝක් එකක් බලන්න. ඒකට හිනාවෙන්න. නැත්තං පූස් පැටව් සෙල්ලන් කරන වීඩියෝ එකක් බලන්න. ඒකෙන් ඔයාට සතුටක් ඇති වේවි.

මම ඉස්සර එහෙම දෙයක් උනාම අපේ කොල්ලො එක්ක කන්න යනවා. මගෙ ගානෙ. අපේ උනුත් මාව මරාගෙන කන්න ඕනෙ නිසා හැත්ත බුරුත්ත ඔක්කොම එනවා. ඉතින් එදාට මට අනිත් දේවල් ඔක්කොම අමතකයි. හොඳට හිනා වෙනවා. විනෝද වෙනවා.

සම්බන්ධයක් නැවතුනු පළියට , ඔයා මුලු ජීවිතේම දුක් විඳින්න ඕනෙ කියල එකක් නෑ. ඔයත් සතුටු වෙන්න.

 

2. පෝශ්‍යදායී ආහාර ගන්න.

 
ලව් කේස් එකක් කැඩුන ගමන් අපේ ගොඩක් අය මුලින්ම කරන්නෙ වේල් හය හතක් මගහරින එක. ඇත්තටම ඒ වෙලාවට අපිට කිසිම දේකට ආසාවක් එන්නෑ තමයි.

මම මේ කියන්නෙ ඒ හැමදේම අමතක කරල ඔයා හොඳට කන්න ඕනෙ කියල නෙවෙයි. ඒක ප්‍රායෝගික නෑ කියල මමත් දන්නවා. මොකද කියන කෙනාට ඕනෙ දෙයක් කියන්න පුලුවන්. වෙච්ච කෙනානෙ තත්වය දන්නෙ.

මම කියන්නෙ සුලු සුලු දේවල් හෝ කන්න කියල. මහා බත් පිඟානක් එපා. අම්මල කන වෙලාවට කටක් දෙකක් කවාගෙන එන්න. ඔයාට එයාලගෙ ආදරය දැනෙන්නත් එක්ක ඒක කරන්න.

එහෙමත් නැත්තං ඔයා ආස දෙයක් අරන් කන්න. උදාහරණයකට ඔයා හෙන ආසයි කොත්තු කන්න. සම්බන්ධෙ නවත්තපු දුකට ඔයා මුකුත්ම නොකා ඉන්න හදනව නං , කඩේකට ගිහිල්ල නිකමට කොත්තුවක් අරන් තනියම කොටාබාල එන්න. ඒකෙන් ඔයාට සුවපහසුවක් දැනේවි.

සමහර වෙලාවට ශරීරය ආහාර නැති නිසා දුර්වල උනාමත් අපිට මලානික ගතියක් දැනෙනවා. ඊට පස්සෙ අපි හිතනවා ඒක මානසික ප්‍රශ්නයක් කියල. ඒ හින්ද අර වගේ පොඩ්ඩ පොඩ්ඩ හරි මොනව හරි කන්න.

 

3. ව්‍යායාම කරන්න.

 
ඇති උන සිදුවීම නිසා මලානික උන ඔයාට , ආපහු ප්‍රබෝධමත් වෙන්න හොඳම දෙයක් තමයි ව්‍යායාම කිරීම කියන්නෙ. ලොකු ලොකු ඒව එපා. ඇඟ උණුසුම් කිරීමෙ අභ්‍යාස , පොඩ්ඩක් දුවන ඒව වගේ සුලු සුලු දේවල් කරන්න.

සතියට දවස් 3ක් වත් පැය භාගෙ ගානෙ ව්‍යායාම කරන්න. ගෙයින් එලියට බැහැල කරන්න පුලුවන් නං තවත් හොඳයි. ඒ වගේම ව්‍යායම කරනකොට "සතුටු හෝමෝනය" නම් හෝමෝනයක් ස්‍රාවය වෙනවා. ඒකත් ඔයාට ධනාත්මක බලපෑමක් ඇති කරන්න පුලුවන් දෙයක්.

 

4. යහපත් නින්දක් ලබා ගන්න.

 
යහපත් නින්දක් කියන්නෙ පැය 6-7ක නින්දකට. එක දිගට නිදාගන්න ඕනෙ. ෆෝන් අනං මනං ඕෆ් කරල හොඳට සුවපහසුවට නිදාගන්න. රෑ 11ට වගේ නිදාගෙන උදේ 5-6ට ඇහැරෙන්න.

ඔයා වෙනද නිදාගන්න වෙලාවක් ඇති. ඒ උනාට අර කියපු වෙලාවට නිදාගන්න බලන්න. අපිට ඕනෙ අපේ මනස සන්සුන් කරන්නනෙ. ඉතින් මුලින් ඒක කරගෙන ඉමු.

ඕනෙවට වඩා නිදිමරන එකෙන් වෙන්නෙත් ඔයා ආපහු මානසිකව පහතට වැටෙන එක. සහ කායිකව දුර්වල වෙන එක. ඒ වගේම වැඩිපුර නිදාගන්න එකත් නොකල යුතුයි.

ඕන්නං නිදාගන්න පැයකට කලින් වගේ , හොඳ උණුසුම් වතුරෙන් ස්නානයක් හෝ උණුසුම් තේ කෝප්පයක් බොන්න පුලුවන්. ඒකෙන් වෙන්නෙ අපේ මනස පොඩ්ඩක් නිවෙන එක. ඒක ඔයාගෙ නින්දට යහපත් බලපෑමක් කරනවා.

 

5. ඔයාගෙ සමීපතමයින් ඇසුරු කරන්න.

 
ඔයාට ආදරය කරන , ඔයා ගැන වද වෙන තව ගොඩක් අය ඉන්නවා. ඔයාගෙ දෙමාපියන් , මිතුරන් , ගුරුවරුන් වගේ අය. ඒ අයගෙන් ආදරය බලාපොරොත්තු වෙන්න බය වෙන්න එපා. එයාල ඔයාට ආදරය දෙන්නෙ ආපහු ඉල්ලගන්න නෙවෙයි. ඒ අය එක්ක කාලය ගත කරන්න. එයා විතරක්ම නෙවෙයි ඔයාට ආදරය කලේ කියන එක සිහියෙ තියාගන්න.

 

6. ආපහු සුපුරුදු දින චර්‍යාවට යන්න.

 
ඔයාට ආපහු සාමාන්‍ය ස්වරූපයට එන්න උදව් කරන දෙයක් මේක. ඔයාට පුලුවන් වෙනද වෙලාවටම නැගිටල , තේකක් බීල දවස පටන් ගන්න. වෙනද වගේම වැඩ කරන්න.

හැබැයි සිහියෙ තියාගන්න. ඔයා අමාරු කාලයක් ගත කරමින් ඉන්නෙ. මම වෙනදට කියන්නෙ push your limits කියල. හැබැයි අද කියන්නෙ Don't push yourself too hard කියල. ඕනෙවට වඩා තමන්ටම පීඩනයක් එල්ල කරගන්න එපා. ඔයාට බ්‍රේක් එකක් ඕනෙ කියල හිතුනොත් බ්‍රේක් එකක් ගන්න. සින්දුවක් අහල හෝ ඔයා ආස පොඩි දෙයක් කරල ඔලුව හදාගෙන ආපහු වැඩේට බහින්න.

 

7. ඔයා ඔයාටම තෑග්ගක් දෙන්න

 
ඔයා කාලයක් තිස්සෙ බලන්න හිටපු ෆිල්ම් එකක් බලන්න. Romance category නැතුව comedy , thriller වගේ නං වඩාත් උචිතයි. එහෙමත් නැත්තං ඔයා පොඩි ගමනක් යන්න. ඔයාට පුලුවන් පුස්තකාලයට ගිහිල්ල පොතක් කියවන්න , පන්සලට ගිහිල්ල මලුව අතුපතු ගාල එන්න , හෝ ඒ වගේ දෙයක් කරන්න.

ඔයා ඔයාටම තෑග්ගක් දෙනව කිව්වෙ , ඔයා ආස හැමදේම කරන්න කියන එකට නෙවේ. ඔයාගෙ මනස ඉල්ලන "නිදහස" තෑග්ගක් විදිහට දෙන්න කියන එකට.

 

8. අලුත් විනෝදාංශයක් පටන් ගන්න.

 
දැන් සම්බන්ධයක් නැති නිසා ඔයාට අමතර කාලයක් තියෙනව. ඒ කාලය යොදාගන්න අලුත් විනෝදාංශයකට. මේකෙන් ඔයාගෙ අවධානය අතීතයට යන එක නවතිනව වගේම අලුත් ජීවිතේකට ඔයාව හුරු වීමක් සිදු වෙනවා.
 


 

Tips

  • යාලුවෙක් ඔයාගෙන් ඇහුවොත් එයා ගැන, ඔයා කියන්න මෙහෙම,
    අපි අතර දැන් සම්බන්ධයක් නැහැ. අපි වෙන් වුනා. සමාවෙන්න මට ඒ ගැන ආපහු කතා කරන්න ඕන්නෑ.
    එතකොට ඒ අදාල කෙනා නිකංම තේරුම් ගනීවි ඔයා අදහස් කරන දෙය. ඊට පස්සෙ ඒ කෙනා ඔයාගෙන් ආපහු ඒ ගැන අහන එකක් නෑ.
  • ආපහු ආපහු එයා ගැනම හිතන්නැතුව , ඔයා වෙන වෙන ක්‍රියාකාරකම් වලට අවධානය දෙන්න. ගෙදර සුරතල් සතෙක් ඉන්නව නං එයා එක්ක සෙල්ලම් කරන්න.

     

Warning

  • කිසිම වෙලාවක ආදරේ කරපු කෙනෙක් ගියා කියල නරක පුරුදු ඇතිකරගන්න එපා. දුක නැති කරගන්න ඕනෙ කියල , සිගරට් බොන්න , අරක්කු බොන්න , ටැබා පාරක් දාන්න , ඇපල් පෙත්තක් ගහන්න , ගංජා කෑල්ලක් ඈශ් කෑල්ලක් ගහන්න හිතුන නං මතක තියාගනින් උඹ සිරාම රට හරකෙක් කියන එක. කෙල්ල උඹව දාල ගියා නං , ඒක ඒ කෙල්ලගෙ වාසනාව කියන එකත් මතක තියාගනින්. තමන්ගෙ ජීවිතේටවත් ආස නැති එකෙක් ගාව කෙල්ලෙක් ඉඳීවි කියල හිතන්න එපා.

     
Additional Info
  • [1] - අමතර ඒව

    ඇයගේ හෝ ඔහුගේ පෞද්ගලික ජීවිතයට බලපාන දේවල් (නිරුවත් රූප ආදිය) හෝ ඔහුට හෝ ඇයට ප්‍රශ්නයක් විය හැකි දේවල් (රහස් ආදිය).
Useful Articles

2 Comments

Previous Post Next Post

Contact Form