සියදිවි නසාගැනීමට පෙළඹුණු අයෙක්ව හඳුනගන්නෙ කොහොමද?

 
 Psychology     Life     Social     Youth 

සියදිවි හානි කරගැනීම කියන්නෙ වර්තමානයේ අපිට සුලබවම අහන්න දකින්න ලැබෙන දෙයක්. තත්වය වඩාත්ම භයානකයි කියල තේරෙන්නෙ ගොඩක් මිනිස්සු ඒක හාස්‍යජනක දෙයක් හැටියට සලකනව දකිනකොටයි. සියදිවි හානි කරගන්න හේතුව මොකක් උනත් , කෙනෙක් සියදිවි හානි කරගන්නෙ තමන්ගෙ breaking point එකට ආවට පස්සෙ.

එක එක අයගෙ breaking point එක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙනව. උදාහරණයකට සමහරු , ඔවුන්ගෙ ජීවිතේ කාපු නැති කට්ටක් නෑ. ඒ උනත් එයාලට ජීවිතෙන් සමුගන්න හිතෙන්නැ. ඒ වගේම සමහරු ඉන්නව බොහොම පොඩි හිත් රිදීමක් නිසා ක්ශණිකවම සියදිවි හානිකරගන්න පෙළබෙනව.

අපි හැමෝම දන්නව ගොඩක් මිනිස්සුන්ගෙ පිටට පෙන්නන කෙනා නෙවෙයි ඇතුලාන්තයෙන් ඉන්නෙ කියල. සාමාන්‍යෙන් අපි කියන්නෙ වෙස් මූණු දාන් ඉන්නව කියල.

මෑත කාලීනව අපි දැක්ක , අපි හීනෙකින්වත් නොහිතපු මිනිස්සු "නිකරුණේ" තමන්ගෙ ජීවිතයට සමු දුන්නා. ඉතින් ඇත්තටම ඔවුන් සියදිවි හානි කරගත්තෙ නිකරුණේද?

හැමතිස්සෙම හිනා වෙලා හිටපු මිනිස්සු , වෙන අයව හිනා ගස්සන්න උත්සාහ කරපු මිනිස්සු , කොටින්ම මිනිසාගෙ මනස ගැන අනිත් අයට උගන්වපු මිනිසුන් පවා සියදිවි හානි කරගැනීම් වලට පෙළඹුනා. ඒ නිසා අපි දැනගන්න ඕනෙ අපිට පිටින් බලල කිසිම කෙනෙක්ගෙ මානසික තත්වය තීරණය කරන්න බෑ කියල.

ඒ වගේම සියදිවි හානි කරගැනීම වත්මන් සමාජය තුළ අතිශය අපකීර්තියට පත් වන දෙයක් හැටියට සලකන නිසා කවුරුත් ඒ ගැන කතාකරන්නෙත් නෑ. සහ කතාකරන්න ලැජ්ජයි. මිනිස්සුත් බලන් ඉන්නෙ දුර්වලයට හිනාවෙන්නනෙ. ඉතින් සියදිවි හානි කරගැනීම් ගැන දැනුවත් වීමත් සමහරු හිතන්නෙ දුර්වල කමක් කියල. (පෞද්ගලිකව මගෙ යාලුවෙක් එහෙම හිතුව)

වර්තමානයේ ගොඩක්ම තරුණ පරම්පරාව තමයි සීඝ්‍රයෙන් සියදිවි හානිකරගැනීම් වලට පෙළබෙන්නෙ. විශේෂයෙන්ම පාසල් ළමුන්. දෙමාපියන්ගෙ තරවටු කිරීම් , සුලු දේවල් වලටත් බැන වැදීම් , අධික ආතතිය , පවුල් පසුබිමෙන් එල්ල වෙන අධික පීඩනය , ආදර ප්‍රශ්න , වගේම මානසික දුර්වලතා වැනි දේවල් මේ තත්වයට හේතු වෙලා තියෙනව.

සමාජය තුළ වගකිවයුතු පුරවැසියන් හැටියට අපිටත් වගකීමක් තියෙනව සියදිවි හානි කරගැනීමට පෙළඹිය හැකි අයව ඉන් මුදාගන්න.

යම් කෙනෙක් එහෙම හැසිරීමකට පෙළඹෙන සාධක කීපයක් තියෙනව.

  • මානසික ආබාධයක් පැවතීම ; මිනිස්සුන්ට විවිධ මානසික ආබාධ තියෙනව. ඒ ආබාධ තත්වය වැඩිවෙන තරමටම සියදිවි හානිකරගැනීමට ඇති අවදානම ඉහළ යනව. (ඒ වගේම සියදිවි නසාගැනීමෙන් මියගිය පුද්ගලයන්ගෙන් සුලුතරයක් , ඔවුන් මියගිය කාලසීමාවේ මනෝ චිකිත්සක ප්‍රතිකාර වලට යොමු වෙලා හිටපු අය)
  • පවුල තුළ සිය දිවි නසාගැනීමක් සිදුවීම. 
  • සමීපතයෙක්ගෙ මරණයක් , වෙන්වීමක් හෝ දික්කසාදයක් සිදු වීම.
  • නිවස තුළ ගිනි අවියක් තිබීම. (ගිනි අවි නිසා වන මරණ 2/3ක්ම සියදිවි හානිකර ගැනීම් වේ)
  • මත්ද්‍රව්‍ය අනිසි භාවිතය. 
  • ජීවිතයේ ආතති සහගත සිදුවීමකට මුහුණ දීම. 
  • අතීතයේ සියදිවි හානිකරගැනීම් වලට උත්සාහ කිරීම. 
  • ආවේගශීලීබව හා ආක්‍රමණශීලි බව. 
  • දැඩි ප්‍රචණ්ඩත්වය. 
  • අපයෝජනය හෝ නොසලකා හැරීම් වැනි අහිතකර ළමා අපයෝජන. 
  • ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුශ භාවය පිළිබඳ ඇති අසහනය. 
  • ජයග්‍රහණ නොමැති කම හා දිගුකාලීනව සැලසුම් කල ඉලක්කයක් මග හැරීම. 
  • බරපතල රෝගී තත්වයන්. 
  • සෞඛ්‍ය සේවා සඳහා නිසි ප්‍රවේශයක් නොමැති වීම. 
  • සමාජ ඒකලනය.
 
මීට අමතරව ළමුන් සහ යෞවනයන් සඳහා ;

  • මිත්‍රත්වය හෝ සමාජයෙන් ප්‍රතික්ශේප වීමේ ගැටළු. 
  • හැසිරීමේ ඇති දුර්වලතා සහ ආබාධ. 
  • කඩාකප්පල්කාරී සහ ආවේගකර පවුල් පරිසරය. 
  • පවුලේ හැඩගැස්මේ මෑතකාලීන වෙනසක් සිදු වීම. 
  • පවුල තුළ කායික හෝ මානසික රෝග. 
  • නොගැළපෙන දෙමාපියන්. 
  • මිතුරු කණ්ඩායම තුළ සිදු වූ සියදිවි හානිකරගැනීමක්. 
  • දුර්වල මුහුණදීමේ කුසලතා සහ අඩු දරාගැනීමේ තත්ව. 
  • පාසල් අසමත් වීම. 
  • අනවශ්‍ය ලෙස පරිපූර්ණ ආකල්ප දැරීම.
 
මේ කිව්වෙ කෙනෙක් සියදිවි හානිකරගැනීමකට පෙළබෙන්න පුලුවන් සාධක කීපයක්. කෙනෙක්ට මේ වෙනකොටත් සියදිවි හානිකරගැනීමක් ගැන සිතෙනව නං , ඒ පුද්ගලයා විවිධ අනතුරු ඇඟවීමේ සංඥා පෙන්වනව. ඒ වගේම සමහරු එහෙම නොපෙන්වන්නත් පුලුවන් සහ එහෙම අනතුරු ඇඟවීමේ සංඥා පෙන්නුම් කරපු පළියටම ඒ පුද්ගලයා සියදිවි හානිකරගැනිමකට උත්සාහ කරනව කියල 100%ක්ම තහවුරු කරන්න බෑ.

අනතුරු ඇඟවීමේ සංඥා ;

  • හිටිඅඩියේ සියදිවි හානිකරගැනීම ගැන කතා කිරීම. (සෘජුව හෝ වක්‍රව. දරාගත නොහැකි දේවල් ගැන පැවසීම) 
  • අවදානම් සහගත ක්‍රියා කිරීම / ආවේගශීලීව සහ ප්‍රචණ්ඩකාරීව හැසිරීම. 
  • නිතරම සියදිවි නසාගැනීමට හැකි ක්‍රමයන් ගැන සිතීම. 
  • දැඩි බලාපොරොත්තු සුන් වූ බවක් පෙන්නුම් කිරීම. 
  • තමා සතු දේවල් හදිසියේම අන් අයට ලබා දීම. 
  • දැඩි ලැජ්ජාවකින් පසු වීම. 
  • තමා අන් අයට බරක් ලෙස හැඟෙන ප්‍රකාශ කිරීම. 
  • නින්ද නොයාම. 
  • මනෝලෝක වල තනිවී අධික කාලයක් ගත කිරීම. 
  • මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම.
 
මීට අමතරව ළමුන් සහ යෞවනයන්ට ;

  • හදිසියේම අධ්‍යාපනික කටයුතු පහත වැටීම.(ලකුණු අඩු වීම , ශ්‍රේණි පහත වැටීම) 
  • මරණය ගැන චිත්‍ර ඇඳීම , කතන්දර ලිවීම හෝ අන් අයට ඒ ගැන පැවසීම. 
  • තමන් මේ ලොවට අයිති නැති බව අන් අයට ඒත්තු ගැන්වීමට උත්සාහ කිරීම. 
  • විවිධ කායික රෝග ලක්ශණ වැඩිවීම. (හිසරදය වැනි) 
  • හදිසියේම පාසල , පංති ආදිය ප්‍රතික්ශේප කිරීම. 
  • ආහාර ගැනීමෙ රටාව වෙනස් වීම. 
  • ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම් වලින් හදිසියේ ඉවත් වීම. 
  • මරණය සම්බන්ධ මාතෘකා වෙතටම තම අවධානය යොමු කිරීම.
 
මේ වගේ දේවල් පෙන්නුම් කිරීම , සියදිවි නසාගැනීමේ අවදානමට ලක් වූවන්ගෙ ලක්ශණ හැටියට මනෝවිද්‍යාත්මකව පෙන්නල දීල තියෙනව.

ඉතින් අපිට කරන්න පුලුවන් දේ තමයි , අපේ යාලුවෙක් , නෑදෑයෙක් , සමීපතයෙක් මේ අවස්ථාවක ඉන්නව නං , ඒ අය එක්ක විවෘතව සහ සෘජුව කතා බහ කරල නිසි ප්‍රතිකාර වලට යොමු කරන එක.

සහ ඔයාට එවැනි ගැටලුවක් තියෙනව නං නොපසුබටව වගකිවයුතු කෙනෙක්ට වහාම දන්වන්න. දෙමාපියන් සුලු දේටත් කිපෙන සුලු අය නං , දෙමාපියන්ට හැර තමන්ගෙ යහලුවෙක්ට , සමීපතම ගුරුවරයෙක්ට ඒ බව දන්වන්න.

නමුත් මතක තියාගන්න.

පුද්ගලයෙක් , තමන්ගෙ සීමාව ඉක්මවූවට පස්සෙ ගන්නා තීරණ වලට හිනාවෙන්න එපා. මිනිසුන්ගෙ මානසිකත්වය එකිනෙකාට අනන්‍ය දෙයක්. අපි දැනගන්න ඕනෙ අපිට සහ අපේ සමීපතයන්ට ඒ ඉරණම අත්නොවෙන්න වැඩකටයුතු සිදු කරන්න.

උදව්වක් උනා කියල හිතනව.

Post a Comment

Previous Post Next Post

Contact Form